Tuesday, July 30, 2019

දහම ඇත සැඟවිලා...


සංස්කෘතීන්, සම්ප්‍රදායන් ආදිය පිරිහෙන අවධියක, එහි සුරක්ෂිතභාවය උදෙසා, අවි ආයුධ අතට ගත යුතුම බව බොහෝ දෙනෙක් විශ්වාස කරති. ඒ වෙනුවෙන් අනෙකා සමග ගැටුම් ඇති කරගත යුතුම බව බහුතර විශ්වාසයයි. නමුත්, කලාකරුවෙක්ට, තම නිර්මාණශිලිත්වය අවියක් කොට, නිහඬ විප්ලවයක්, සමාජය තුළ සිදු කර හැක. ඒ බව මොනවට පසක් කරන, කලා නිර්මාණ බොහොමයක් කලා ක්ෂේත්‍රය තුළ, අපට හමු වේ. 
එකී කාර්‍යභාරයේ සුවිශේෂී සංශේපයක් ලෙස, ගීතය අපිට අර්ථකථනය කළ හැක. 
චාමර වීරසිංහ විසින් ගායනා කරන, පහත දැක්වෙන ගීතය, සෘජු ලෙස, විප්ලවීය ගීතයක් ලෙස නොපෙනුන ද, නොදැනුන ද, ඒ තුළ මුදාහරින යථාර්තවාදීත්වය අපට සාවද්‍ය යැයි බැහැර කළ හැකි නොවේ. මන්ද, මෙකී ගීතය පුරාවට පවතින්නේ,  මිනිස් චින්තනයේ වත්මන් ඛේදවාචකයයි. 

"සඳට සඳ එළියට

 මලට මල් පොකුරට

 කවියෝ කවි ලීවට

 වෙනස් වේවිද 

 මේ මිනිස්සුන්ගේ හිත" 


සියක් තරු මැද සුදිලෙන්නේ එක සඳක් බව අප අසා ඇත. ඒ සඳ අනුපමේය බව, අචින්ත බව බොහෝ දෙනා, විවිධ විදිහට, විවිධ කාලයන් තුළ අපිට පවසා ඇත. එමෙන්ම, මලෙහි පිවිතුරු බව සේම, එකී මල් ගොමු තිසාරා බඹරු රොන් පහස සොයන බවද, අපි කුඩා කළ සිට දැක ඇති, අසා ඇති දෙයකි. මෙලෙස සුන්දරත්වය අඟය කරමින්, බොහෝ චිත්ත සංකල්පනා ශ්‍රාවක සිතෙහි මතු කරමින්, බොහෝ කවියන් විවිධ දෘෂ්ටියෙන් ගීත, කවි රචනා කර ඇත. නමුත්, කෙතරම් සුන්දර සංකල්පනා, ගීතය, කවිය තුළ, සමාජය වෙත මුදා හැරිය ද, මිනිසුන්ගේ සිතුවිලි හා ඔවුන් සමාජය වෙත හෙලන්නා වූ දෘෂ්ටිය වෙනස් වේවිද? මෙහි රචකයාට ඇති ප්‍රබල ම ප්‍රශ්නය එය යි. කෙතරම් සුන්දර වස්තු විෂයන් පාදක කර ගනිමින්, ගීත රචනා වුවද, මිනිසුන් තුළ පවතින අශ්ශීල ගති නොවෙනස්ව පැවතීම, සැබවින්ම ප්‍රශ්නයකි. මලක මොළකැටි බව ගීතයෙන් රසවිදින්නා සේම, මිනිසුන්ගේ සිත් සතන්, අනෙකා වෙනුවෙන් සංවේදී වන්නේ නම් එය කෙතරම් අපුර්ව ජනකද? එසේම, ගීත රසවින්දනය තුළ, මිනිසුන්ගේ මානුෂීය ගුණාංග ඔප් නැංවේ නම්, කලාවේ කාර්යභාරය ඒ තුළ, තෘප්ත වී ඇත. නමුත් ඒ සියල්ල එසේ නොවීම පිළිබද, ගීතයකින් වුව අසන්නට ලැබීම, සතුටු විය හැකි කරුණක් නොවන බව, ඔබ මොහොතකට හෝ සිතා තිබේද?

"උමතුවෙන් මත් වෙලා

  රාගයෙන් ලොල් වෙලා

  මනස වී දෝ මුලා

  සුමුදු මල් පරවෙලා"


බොහෝ මිනිසුන්, උමතු ලෝකයක ජිවත් වෙයි. ඔවුන් කටයුතු කරන්නේ, මමත්වයෙන් පිරුණු ලෝකයක වේ. අනෙකා පිළිබදව, සංවේදී වීමට තරම්, කාරුණික මනසක් බොහෝ මිනිසුන් සතුව නැත. මිනිසුන් නිරන්තරයෙන් උත්සාහ ගන්නේ, තම අරමුණු කෙසේ හෝ තෘප්ත කර ගැනීමටයි. පන්චේන්ද්‍රයන් පිනවීමට එහා ගියපු සහනදායී ජීවන පැවැත්මක් පිළිබද ව, සිතන්නට පවා, වත්මන් මානව සංහතියට දවසේ පැය 24 ප්‍රමාණවත් නොවී ඇත. එවන් මිනිසුන් සිටින සමාජයක, පියා විසින් තම දියණිය කෙලෙසීම, තම පුතා විසින් මව කෙලෙසීම වැනි කාරණා පුදුම සහගත නොවේ. එසේම ආදරණීය දෙමාපියන්ට නොසලකන, දෙමාපියන් බලු කූඩුවක දැමීමට තරම්, ආකෘතඤ වූ දරුවන් සමාජය තුළ බිහි වීම, පුදුම සහගත නොවේ. එබැවින් ඔබ, සමාජය තුළ, දිනෙන් දින අහන, දකින, සාහසික ක්‍රියා පිළිබද පුදුම නොවන්න. අවශ්‍ය වන්නේ, සියලු මිනිසුන් මුලාවෙන් අත්මිඳීමයි. නමුත්, ඔබේ මනස, නිරවුල් ලෙස පවත්වා ගැනීමට ඔබට හැකි වන තාක්, ඔබ ජිවත් වන්නේ, මුලාවෙන් පිරුණු ලෝකයක බව, ඔබට නොවැටහෙනු ඇත. එබැවින් කවියන් ගයන,මවන සුන්දර ලෝකය, අප සියල්ලටම මනඃකල්පිත ලෝකයක් පමණක්ම වනු ඇත. 

"අඳුර ලොව රජ වෙලා

  මිනිස් සිත ගොළු වෙලා

  විශ්වයම වී මුලා

  දහම ඇත සැඟවිලා"


බලය මත, සත්‍යවාදී බව සැඟව ගොස් ඇත. සියලු දේ ජයග්‍රහණය කරනුයේ, සාධාරණත්වය මත හිඳ නොව, බලාධිකාරීත්වය මතය. නමුත්, එහි ඇති පුදුමය නම්, මිනිසුන් අසාධාරණය වෙනුවෙන් කිසිදු හඬක් නොනැගීමයි. නමුත් සියලු මිනිසුන්, බාහිර රූපය තුළ, බොහෝ භක්තිවන්තයෝය. එසේම, තමන් අදහන ආගමට සාපේක්ෂව, බොහෝ ධර්ම කරුණු, පිළිබද න්‍යායාත්මක අවබෝධයක් බහුතර ජනතාවට පවතී. එමෙන්ම, තමන් ධාර්මිකයෙකු බව, අනෙකා වෙත පෙන්වීම, වත්මන් මෝස්තරයක් වී ඇත. නමුත්, ධර්මය  පවතින්නේ, ප්‍රදර්ශනාත්මක ලෙස නිෂ්ඵල වූ තෘප්තියක් ලබන්නට නොවේ. ඔබ එය අවබෝධ කර නොගන්නා තාක්, මුළු විශ්වයම පවතින්නේ, බොරුවෙන් පිරුණු, මායා ලෝකයක ය. සියලු දේ ඇති වී නැති වී යන බව ඔබට අවබෝධයක් තිබේ නම්, ඔබ අනෙකා වෙත වෛරී බැල්මක් වුව, හෙලන්නේ නැත. එසේම, එකී අනිත්‍යතාව ඔබ ප්‍රායෝගිකව අත් දකින්නේ නම්, කිසිදු විටක, ඔබ මමත්වයෙන් ක්‍රියා නොකරනු ඇත.  ධර්මය සැඟ වී ගිය තැනක, යහපත් කිසිදු දෙයක් බලාපොරොත්තු විය නොහැක. එබැවින් නිරන්තරයෙන්, ඔබ ධර්මය ප්‍රායෝගිකව භාවිතයට ගනිමින් දැහැමි දිවි පෙවතක් ගත කළ යුතුමය. මෙම ගීතය, එවන් ධාර්මික දිවි පෙවතකින් ඔබ  බැහැර වීම පිළිබද වූ ශෝකාලාපයක් යැයි, මට සිතෙයි. මොහොතක් දෑස වසා, මෙම ගීතය අසා බලන්න.

                                                                         අයි.ඒ. සචිනි නිමල්කා

Sunday, July 14, 2019

පිච්ච මලක සුවද


බසය වේගයෙන් විත් නතර කළේ, ඇගේ දෑස් මා වෙත යා කරමිනි. 

" මේ එයාමද??? "

මගේ හදවත ඉතා වේගයෙන් ස්පන්දනය වෙයි. එකවර මුළු ලෝකයම මගේ ඉදිරිපිට ඇති හැඟීමක් මට දැනෙයි. කොළොම්බස්ට වුව, ඇමරිකාව සොයා ගත් පසුව ද, මේ තරම් සතුටක් නොදැනෙන්නට ඇත. 

" ඔව්..........ඔව්........මේ එයාමයි..... "

හීන් දා බිඳු අතරින් මම, බසයට ගොඩවන ඇය දෙස බලා සිටියෙමි. ඇය වෙනදා මෙන්ම, අවිහිංසක ලීලාවෙන් විත්, මා ඉදිරිපස අසුනෙහි හිඳ ගත්තාය. නමුත් ඇය, තවම මාව දුටුවේ නැත. කෙසේවෙතත්, ඒ ඇස් දුටු වනම, වෙනදා මෙන්ම, මා තුළ ඇති වූයේ නිම් හිම් නැති සෙනෙහසකි. 

ඇගේ අවිහිංසක මුහුණ, කනට ඇසෙන නෑසෙන වචන, මා සිත සොරා ගත්තේ, දැනට අවුරුදු දෙකකට පමණ පෙර, කැළණි සරසවි බිමෙහි දීය.
එදා මෙන්ම අදටත්, ඒ අතීතය, මගේ මතක පිටු අතර බොහොම පරිස්සමට තැන්පත් වී ඇත. 

" ඒයි ප‍්‍රවීනයා.....උඹට ඇත්තටම පිස්සුද?  පිච්ච මල් ගොඩක් ඔළුවේ ගහ ගත්තට, සල්වාරියක් පොරවගෙන, බිම බලාගෙන අඩිය තිබ්බට, එකී වෙන ආගමක කෙල්ලෙක් බං....සිංහල අපි මොකටද ත්‍රීශුලයක් බෙල්ලේ එල්ලගන්න ඔය තරමටම දඟලන්නේ ?......."

" ධර්ම චක‍්‍රයයි, ත්‍රීශුලෙයි කියලා බෙදා ගත්තෙත් අපි අපිමනේ රජිත.....ඒවා කතා කරලා වැඩක් නෑ....මොනා වුනත්, වෙන කෙල්ලෝ වගේ ඩෙනිමයි, ටී ෂර්ට් එකයි නොඇන්ඳට, එකී මට රත්තරං.... ”

 "ආදරේ අන්ධයිලූ කොල්ලෝ.....තේරෙයි දවසක මේ රජිතයගේ කතාවේ ඇත්ත නැත්ත.... "

මගේ හිතෙහි සවීනා පිළිබද ඇති ආදරයට, මගේ මිතුරන් දැරුවේ එවැනි අදහසකි.

සවීනාගේ සම්පුර්ණ නම, සවීනා රාජරත්නම්ය. ඇය හින්දු ආඟමිකයෙකි. නමුත් ඇයට බොහොම අපූරුවට සිංහල කතා කිරීමට පුළුවන. බොහෝ දෙනෙකු ඇයට ආදරයට ආමන්ත‍්‍රණය කරන ලද්දේ, "සවී" යන නාමයෙනි. 

ප‍්‍රවීන් සමරකෝන් නම් මම, සවීට බොහෝ සෙයින් ආදරය කරන ඒකපාර්ශවික පේ‍්‍රමවන්තයෙක් වෙමි. අදටත් සවී මගේ ආදරය පිළිබද කිසිවක් දන්නේ නැත. වචනයකින් හෝ ඇයට ආදරය ප‍්‍රකාශ කරන්නට, මා හට සිංහල - හින්දු භේදය දැඩි බාධාවක් විය. එයට හේතුව මම පවුලේ එකම දරුවා වීමයි. අපේ පවුලේ සියලූ දෙනාම සිංහල ජාතිය, බෞද්ධ ආගම හිස් මුදුණින් අදහන්නෝ වෙති. එබැවින් කිසිදු මොහොතක සවීනාට මාගේ මා පියන් කැමැත්ත ප‍්‍රකාශ නොකරන බව, මම දැඩිව විශ්වාස කළෙමි.

නමුත් සවීනා, සරසවි ජීවිතය තුළ, මට අමතක කළ නොහැකි සොඳුරුතම සිහිවටනයකි. ඇය මට ප‍්‍රථමයෙන් මුණ ගැසෙන්නේ සරසවියේ තල්වැට අසළ දීය. කහ පැහැයට හුරු සල්වාරියක් හැඳ සිටි ඇය, අවිහිංසකභාවයේ ප‍්‍රතිමූර්තියක්  ලෙස මට පෙනුණි. ඇය එදා සිටියේ, මගේ යෙහෙළියක වූ මදු සමඟය. එබැවින්, මා හට සවී සමග කතා කිරීමට, ඇය දුටු ප‍්‍රථම දිනයෙහි ම අවස්ථාව ලැබුණි.

               " මදු....කවුද මේ අලූත් යාළුවා? "

               " ආ.........ප‍්‍රවීන් මේ සවීනා....සවී, මේ ප‍්‍රවීන්....... "

               " අඳුනගන්න ලැබුණු එක සතුටක්. කොහෙද මේ දුවගෙන දුවගෙන යන්නේ දෙන්නා..."

               " බඩගිනියි ප‍්‍රවීන්..කන්න යනවා...අද සවීනා උළුදු වඬේ ගෙනත්. ඔයත් යමු අපිත් එක්ක. "

               " මට බෑ මදු...වෙන දවසක එන්නම්කෝ...දැන් මේ ලෙක්චර් එකකට යනගමන්... "

එදා සවීනාට තවත් ළං වීමට තිබූ අවස්ථාව මගහැරීම පිළිබද, මම අදටත් දුක් වෙමි. කෙසේවෙතත්, එදා සිට මම, සවී පිළිබද ඉතා උනන්දුවෙන් පසු වූයෙමි. නිතර නිතර මදු හමුවීමට, විවිධ හේතු මා විසින් නිර්මාණය කරගන්නා ලදි. එසේ සිදු කළේ, සවී හමුවීමට මා සිත තුළ තිබූ දැඩි ආශාව නිසාවෙනි. 

මෙලෙස දිනෙන් දින ගත වන විට, සවී හා මම බොහෝ ළඟ මිතුරන් බවට පත් විය. හැකි සෑම විටම, සවී හා මම මුණගැසීමේ පුරුද්දක් පසුව ඇති විය. අපි ඉතා හොඳ යහළුවන් වුවද, මම ඉතා දැඩි ලෙස ඇයට ආදරය කළෙමි. ඇයත් මට ආදරය බව, මට යම් යම් අවස්ථා වල සිතුනි. නමුත් කිසිම දවසක, අපි ආදරය පිළිබද වචනයකුදු කතා බස් කර නැත. 

   " ප‍්‍රවීන්...තෛපොංගල් ළඟයි. මම ගමේ යනවා... "
     
   " අනේ සවී....ඔයාට යන්නම  ඕනෙ ද? "

   " ඇයි...ඇ..යි...ඔයා එහෙම ඇහුවේ? "

   " නෑ....නෑ.....නික........න්....ඔයා පරිස්සමට ගිහින් එන්න සවී..... "

එම පැනයට මම, පැටලි පැටලී පිළිතුරු දුන් අයුරු අදටත් මට මතකය. 

බෞද්ධ අපි, අලූත් සහල් මංගල්‍ය සමරන විට, හින්දු ඇය තෛපොංගල් උත්සවය සමරයි. ඒ උත්සව දෙකම, නම් වලින් පමණක් වෙනස් වූවකි. සරසවියේදී, සිංහල, හින්දු, ඉස්ලාම් අපි ඔක්කොම එකට එක් වී හෝලි උත්සවය සැමරුවෙමු. එමෙන්ම, සරසවියේ බොහෝ ගැහැණු ළමයින්ගේ, දෑත් හැඩ වූයේ, මෙහෙන්දි රටා වලිනි. ඒ සියලූ සැමරුම් වලට ආගම බාධාවක් නොවීය.

නමුත් සවීනා හින්දු ආගමික වී, මම බෞද්ධ ආගමික වීම පිළිබද, මම දැඩි ලෙස පශ්චාත්තාප වුනෙමි. ඇය බෞද්ධ ආගමික වී, ඩෙනිම ටී ෂර්ටයට හුරු වූවා නම්, තෛපොංගල් වෙනුවට, අලූත් සහල් මංගල්‍ය සැමරුවා නම්, මාගේ පේ‍්‍රමය තුළ, ඇය මා හට සම්මත ගැහැණියක් නොවන්නේද? මෙවැනි විවිධාකාර සිතුවිලි තුළින්, මම එකළ බොහෝ සෙයින් පීඩා වින්දෙමි. එබැවින්, කාලය වේගයෙන් ගත වුවත්, මම ඒකපාර්ශවික පේ‍්‍රමයක, හිමිකරුවෙකු පමණක් ම විය.

 මෙලෙස, සරසවියෙන් නික්මෙන දිනයත් ළග ළග ම එන බව සිහිපත් වූයේ, කැළණි කන්ද නැඟ, තෙල් බැම්ම පසුකරන විට දුටු දුක්මුසු වචන පෙළකිනි.

   "සිව් වසක අවසන,
     කැළණි කන්දෙන් බැස ගියද,
     කැළණි මව්ගෙන් ලද අත්දැකීම්,
     මතකයෙන් බැස නොයනු ඇත...."

ඒ වචන දුටු මාගේ දෙනෙත් තෙත් වූයේ, මටත් නොදැනීමය. 

කැළණි සරසවියේ, සමුගැනීමේ සාදය, මගේ ජිවිතයේ අමතක කළ නොහැකි ඉතා වේදනාකාරී දවසකි. 

" ප‍්‍රවීන්...ඔයා මට මුණගැහුණු හොද යාළුවෙක්. හොද සහෝදරයෙක්. හැමදාම සතුටින් ඉන්න... "

"සවී...ඔයා සතුටින් නම් මාත් සතුටින්...ඔයත් මට මුණගැහුණු හොද.....ස...හෝ...දරියක්...."

"හ්ම්.......පෛත්තියක්කාර කොඩියන්..........( පිස්සු කොල්ලා) ”

   "සවී මං ඔයාට ආදරෙයි...ඔයා මගේ ජීවිතේ...ආගම ප‍්‍රශ්නයක් නෑ සවී...කැම්පස් අවුට් වුනාට දුක් වෙන්නෙ ඇයි සවී? අපි මැරි කරනවනේ. මං ඔයාගේ වෙනවනේ.” එදා මගෙන් මෙවැනි වචන කිහිපයක් බලාපොරොත්තුවෙන් ඇය පසුවුණු බව මම හොදාකාරවම දනිමි. නමුත් එදා මම සිත් පිත් නැති ගල් පිළිමයක් ලෙස නිසොල්මන් විය.

මාපියන් සමග, සවීනා පිළිබද කිසිවක් සදහන් නොකොට, මා ස්වයං විනිශ්චයක එළඹ, පිළිතුරු සෙවීම පිළිබද, අද මා තුළ ඇත්තේ, දැඩි වරදකාරී හැඟීමකි.

" ගැටඹේ බෝධිය....බහින අය ඉක්මනට බහින්න.....”

කොන්දොස්තර මහතාගේ ඒ හඩින්, මම නැවත පියවි සිහිය ලදිමි. 

තවමත් මා අවිවාහක පිරිමියෙකි. මා ඉදිරිපස හිදින්නේ, මගේ සිතගත්, එකම සිතෙහි හිමිකාරියයි. සරසවියෙන් නික්මුණු පසු, මා ඇය දුටු ප‍්‍රථම දවස අදයි.

  සවී....කෝ මේ සවී...ඔයා මටත් හොරෙන් ම බස් එකෙන් බැහැලා ගියාද සවී......................

මගේ ජීවිතයට පැමිණි ඊළග අවස්ථාවද, ඉතා අවාසනාවන්ත ලෙස මගෙන් ගිලිහී ගොස් ඇති බව දැනුනේ, මගේ ඉදිරි අසුනේ වෙනත් කාන්තාවක් හිදගෙන සිටිනු දුටු විටය. මම නම් සැබෑ අවසනාවන්තයෙකි.

මම නුවර බලා ධාවනය වන බසයට ගොඩ වූයේ, ඇසළ මහා පෙරහැර නැරඹීමට ඇති අපේක්ෂාවෙනි. සවී හමු වූයේ එම ගමනෙහි අතරමගදීය.

නුවර පෙරහැර තුළ, විවිධ සංස්කෘතීන් ඒකාබද්ධ වී ඇත. විවිධ දේවාල වලට අයත් පෙරහැරවල් ද, ඇසළ මහා පෙරහැර තුළ ඇත. විෂ්ණු දේවාල පෙරහැර ද, එයින් එක් දේවාල පෙරහැරකි. ශ‍්‍රී ලාංකිකයන් එදා, නිල් ශරීරයකට හිමිකම් කියූ, ගුරුලා වාහනය කරගත්, බුදුරදුන් ශ‍්‍රී ලංකාවේ භාරකාරත්වය පැවරූ දෙවියන් ලෙස, උපුල්වන් දෙවියන්ව අදහන ලදී. නමුත් පොළොන්නරු යුගයේදී, සිදු වූ සොලී ආක‍්‍රමණ මගින් එම ප‍්‍රදේශ හින්දූන් යටතට පත් විය. හින්දු ආගමිකයන් අදහන ලද්දේ විෂ්ණු දෙවියන්වය. උපුල්වන් දෙවියන්ගේ මෙන්ම, විෂ්ණු දෙවියන්ගේද ශරීරය නිල් පැහැතිය. වාහනය වූයේ ගුරුලාය. මේ අනුව, පසු කාලීනව උපුල්වන් දෙවියන් ලෙස පෙනීසිටින්නේ විෂ්ණු දෙවියන් වශයෙන් භාවිත කරන්නට විය. ඒ අනුව අද විෂ්ණු දෙවියන්ට බුදු රදුන් ලංකාව භාර දුන් බව පිළිගැනෙයි. 
එලෙස හින්දු, බෞද්ධ අපි, සංස්කෘතිකාංග වශයෙන් එකතු වූවා නම්, මගේ පේ‍්‍රමයට ආගම බාධාවක් කරගත් මම සැබෑ අනුවණකාරී පුද්ගලයෙක් නොවන්නේ ද? 
අදටත්, ඒකපාර්ශවික පේ‍්‍රමවන්තයෙකු වන මම, මටම දොස් පවරමින්, ගුඞ්ශේඞ් එකෙන් බසයෙන් බැස, ටොරින්ටන් එක හරහා පියමං කරමින්, වැව රවුම වෙත ළගා විය. පසුව, මම  දළදා වැඳ, වැල් බෝධියේ සෙවණ විඳ, විෂ්ණු දේවාලය හා පත්තිනි දේවාලය වැඳ අවසන, ඇසළ මහා පෙරහැර නැරඹීමට පේ වුනෙමි.

                                                   
                                                                                                                         අයි. ඒ සචිනි නිමල්කා 

Saturday, July 13, 2019

සාම්ප්‍රදායික වේවැල් කලාවට පන පොවන රදාවඩුන්නේ හෙට දවස


  
















වේවැල් වලින් සැදි  විසිතුරු කලා            වැඩ
පෙර සිට පැවති මුත් නැත දැන් එයට         ඉඩ
යළි පන දිය යුතුයි එන බාධකය               මැඩ
සුරකිමු අපේ ලක්මව කරවමින්                හැඩ

අන් සියලු රටවලට වඩා බොහොම අපූරුවට විදගත හැකි ස්වභාව සුන්දරත්වයක් ලංකාවට උරුමය. ඒ වගේම බොහොම අභිමානයෙන් කතා කළ හැකි සංස්කෘතියක් ලංකාවට උරුමය. මෙලෙස බොහොම අපූරුවටඅභිමානයෙන් පදරුත් සපයන ලංකා ධරණීතලයට නව්‍යකරණයේ ආගමනයත් සමග සාම්ප්‍රදායිකත්වයෙන් බැහැර විය හැකිද? එලෙස සාම්ප්‍රදායිකත්වයෙන් බැහැර වූ නව්‍යතාවයක ප්‍රගතිශීලි ඉදිරි ගමනක් තිබිය හැකිද? මේ සියලු ගැටලු වලට පිළිතුරුසාම්ප්‍රදායික වේවැල් රටාවන් හා මුසුව ගවේෂණය කිරීමකාලෝචිත යැයි,සිතමි.
                 කොළඹ-නුවර ප්‍රධාන මග ගමන් ගන්නා අතරවාරයේ හමුවනරදාවඩුන්න නම් ගම්මානය ඔබට මතකද?එදා වළගම්බා රජු මෙම ගම්මානයේ රැදී සිටි නිසාවෙන් මුල් කාලයේ මෙය හදුන්වා ඇත්තේ “රජාවැඩවුන්න” නමිනි. පසුව කටවහරේ පහසුවට, "රදාවඩුන්න” ලෙස භාවිතයට ගන්නා ලදි. මෙම රදාවඩුන්න ගම්මානය හා සාම්ප්‍රදායික වේවැල් කලාව අතර ඇත්තේ අවියෝජනීය සම්බන්ධතාවයකි. නමුත් රදාවඩුන්නට පෙර මෙම වේවැල් සම්ප්‍රදාය ගාල්ලරත්ගම ප්‍රදේශය තුළ ව්‍යාප්ත වී තිබී ඇත. නමුත් මහා පරිමාණයෙන් මෙම වේවැල් කලාව මුල් බැසගෙන ඇත්තේ රදාවඩුන්න ගම්මානය තුළය. ඒ 1960 වසරේදී පමණය. වේවැල් නිෂ්පාදනය තුළ ප්‍රධාන අමුද්‍රව්‍ය වන්නේවේවැල් බවඔබට අමුතුවෙන් කිව යුතු නැත. වේවැල් ප්‍රධාන වශයෙන් ප්‍රභේද තුනක් පවතී. එනම්මා වේවැල්ගෙඩි වේවැල්තම්බටු වැල් යනාදියයි. එසේම වේවැල් අතුරු ප්‍රබේද දපවතී. ඒ අතර කුකුල් වැල්තුඩ රෑන ආදිය දැක්විය හැකිය. අතීතයේ සිට වත්මන දක්වා පරම්පරා හතරක් මෙම වේවැල් සම්ප්‍රදාය තුළ නියැලීඑය මේ වනතෙක් පවත්වා ගෙනවිත් ඇත. එදා රදාවඩුන්න තුළ ජිවත් වූ මිනිස්සුන්ගේ ප්‍රධාන ජීවිකාව වුයේදවේවැල් නිෂ්පාදනයේ නියැලීමයි. 1988 වසරේදී පමණ වේවැල් පුහුණු කිරීමේ මධ්‍යස්ථානයක්ශ්‍රී ලංකාව තුළ ආරම්භ කර ඇත. එහි පුහුණු කිරීමේ කටයුතු සිදු කර ඇත්තේතායිලන්ත හා පිලිපීන ජාතික නිළධාරින් දෙපළක් විසිනි. මෙම පුහුණු මධ්‍යස්ථානය තුළවේවැල් පදම් කිරීම හා වේවැල් පුස් බැදීමකින් තොරවකල් පවත්වා ගන්නේ කෙසේදයනාදී කරුණු පිළිබදව ලාංකික වේවැල් ශිල්පීන් දැනුවත් කර ඇත. නමුත් මෙම වේවැල් පුහුණු ආයතනය පැවතුනේ අවුරුද්දක් පමණ කාලයකි. එදා වේවැල් පුහුණු මධ්‍යස්ථානයේ පුහුණුව ලැබුවෝඅද ජිවතුන් අතර දනැති තරම්ය. එම ආයතනය අදපුහුණු ඉංජිනේරු ආයතනයකි. කෙතරම් දුෂ්කරතා පැමිණියත්පරම්පරාවෙන් උරුම වන වේවැල් කලාව වත්මන දක්වා පවත්වා ගෙන එන්නට රදාවඩුන්නේ දක්ෂ වේවැල් ශිල්පීන්ට හැකියාව ලැබී ඇත. එබැවින් ශ්‍රී ලංකාව කොතෙකුත් නව්‍යතාවයන් වැළද ගත්තදවේවැල් සම්ප්‍රදාය පිරිහීමට ඉඩ දිය යුතු නැත. මන්ද රදාවඩුන්නේ වේවැල් කලාව යනුශ්‍රී ලංකාවේ සාම්ප්‍රදායිකත්වය පිළිබිඹු කරන තවත් එක් කැඩපතක් වන නිසාවෙනි.
            නමුත් වත්මනේ රදාවඩුන්නට එළබ ඇත්තේ අති දුෂ්කර කාල පරාසයකි. මන්දවේවැල් කලාවේ ප්‍රධාන අමු ද්‍රව්‍ය වන වේවැල් පවා සපයා ගැනීම වත්මනේ වේවැල් භාණ්ඩ නිෂ්පාදන ශිල්පීන්ට අසීරු කටයුත්තක් බවට පත්ව ඇත. වේවැල් වගාව සිදු වන්නේ රදාවඩුන්න ගම්මානය තුළ නොවේ. ඔවුන් වේවැල් ගෙන්වා ගනු ලබන්නේ ප්‍රධාන වශයෙන් පොලොන්නරුවමනම්පිටිය ප්‍රදේශයෙනි. ඒ වගේම මාතරමොණරාගලරත්නපුර ප්‍රදේශයන්ගෙන් දසුළු වශයෙන් වේවැල් ලබා ගනියි. එම වේවැල් ගෙන්වන්නට වෙනම අතරමැදි පිරිසක් ඇත. සෘජු ලෙසම වේවැල් ශිල්පින් අතට වේවැල් පත්වන්නේ නැත. මෙලෙස දේශීය වශයෙන් අමු ද්‍රව්‍ය සපයා ගැනීමේ අපහසුව නිසාපෞද්ගලික මට්ටමෙන් මැලේසියාවඉන්දුනීසියාව ආදී රටවල් තුළින් වේවැල් ආනයනය කිරීමට ඔවුනට සිදු වී ඇත. එයට රාජ්‍යමය වශයෙන් කිසිදු මැදිහත් වීමක් නොකිරීම දැවැන්ත ගැටලුවකි. එසේම පිටරටින් ආනයනය කරන ලද වැල් රසායන ද්‍රව්‍ය බහාලූ ටැංකි වල දමා මෙරටට ගෙන්වන බැවින් එම වේවැල් වල කල් පැවැත්ම අඩුය. රසායන ද්‍රව්‍ය බහාලූ ටැංකියක් පැය හතරක පමණ කාලයක් විවෘත කර තබා වේවැල් ලබා ගත යුතුවේ. එබැවින් වත්මනේ වේවැල් කලාවේ පරිහානියටඅමු ද්‍රව්‍ය සපයා ගැනීමේ දුෂ්කරතාව ප්‍රබල හේතුවක් බවට පත්ව ඇත. එසේම වේවැල් බොහෝදුරට වැවෙන්නේ ජලපෝෂක කලාප තුළය. එය අධිරක්ෂිත ශාකයකි. එබැවින් වේවැල් ප්‍රවාහනය කිරීම සදහා රජයේ බල පත්‍රයක්(permit) අවශ්‍ය වේ. නමුත් මා වේවැල් ප්‍රබේදය රත්නපුර ප්‍රදේශයේ ජලපෝෂක කලාප තුළ බහුලව වැවෙන බැවින්මා වේවැල් ප්‍රවාහනය කිරීම සදහා බල පත්‍රයක් අවශ්‍ය නොවේ.                                                                                      
           අතීතයේ වේවැල් කලාව තුළ වැඩි වශයෙන් සිදු වුයේ සාම්ප්‍රදායික වේවැල් පුටු නිෂ්පාදනයයි. නමුත් අද වේවැල් පුටු නිමැයුම්කරුවන් සිටින්නේ ඉතා අල්ප ප්‍රමාණයකි. එසේම වේවැල් පුටු නිෂ්පාදනය කරනු ලබන්නේ ඇනවුමක් පැමිණි විට පමණි. වත්මනේ රදාවඩුන්නේ බොහෝ විට නිපදවන්නේ වේවැල් පුටු නොව ,වේවැල් වලින් නිමැවුන විසිතුරු දෑ ය. වේවැල් තොප්පිවේවැල් කූඩවේවැල් වට්ටිවේවැල් රාක්ක යනාදිය වේවැල් වලින් රදාවඩුන්න තුළ බිහිවන වේවැල් රටාවන්ය. එහෙත් ඉතා අව්‍යාජ ලෙස තම අදහස් දැක් වූ රදාවඩුන්නේ අපේ මිනිසුන් සදහන් කළේ “කලාවට මිලක් නියම කළ නොහැකි බවයි”. නමුත් ඔවුන්ගේ පැවැත්මට සාධාරණ මිලක් නියම වීම අවශ්‍ය වේ.
          එසේම ලංකාවේ සාම්ප්‍රදායික කලා නිපැයුම් පිළිබද විදේශිකයන් දැනුවත් කිරීම කාලීන අවශ්‍යතාවයකි. සිංගප්පූරුව වැනි රටවල් එම රටේ දේශීය නිෂ්පාදන පිළිබද හා ඒවා මිලට ගත හැකි ස්ථාන පිළිබදව විදේශිකයන් දැනුවත් කරයි. ලංකාව තුළ පිත්තල නිෂ්පාදනහම් නිෂ්පාදනමැණික් නිෂ්පාදන ආදිය පිළිබද විදේශිකයන් දැනුවත් කළ දවේවැල් නිෂ්පාදන පිළිබද විදේශිකයන් දැනුවත් නොකිරීම දවේවැල් කලාවේ ප්‍රගමණයට ප්‍රබල ගැටලුවකි. ලංකාව තුළ වේවැල් සම්ප්‍රදායක් තිබෙනවා යන්නත්එම නිෂ්පාදන රදාවඩුන්නේදී ඔවුනට මිලදී ගත හැකි බවත්දැනගත හැකි වන්නේ කොළඹ-නුවර ප්‍රධාන මග ගමන් ගන්නා විදේශිකයන්ගේ දෑස්අහම්බෙන් හෝ රදාවඩුන්න වෙත යොමු වුවහොත් පමණි. වත්මනේ,කොළඹ-නුවර මග ගමන් ගන්නා විදේශිකයන්ට දඑම තත්ත්වය සීමා කර ඇත. මන්ද,විදේශිකයන් රැගත් වාහන නැවැත්විය හැකි ස්ථාන වත්මනේ, සංචාරක මණ්ඩලය මගින් අනුමත කර ඇත. එම අනුමත ස්ථාන අතරරදාවඩුන්න යන නම නොවීමවේවැල් කලාවේ පරිහානියට තවත් එක් හේතුවක් වී ඇත. කජුගමපිළිමතලාව සංචාරක මණ්ඩලයේ අනුමත ස්ථාන වන විට සංචාරක මණ්ඩලයට “රදාවඩුන්න” නාමය අමතක වූයේ කෙසේද?එය, සම්ප්‍රදායට මුල් තැන දෙන ශ්‍රී ලාංකික ඔබහදවතින් ඇසිය යුතු ප්‍රශ්නයක්.
        සාම්ප්‍රදායික වේවැල් කලාවේ පරිහානියට තවත් එක හේතුවකිනව තාක්ෂණික උපකරණ ලංකාවට ගෙන ඒම සදහා රජය මැදිහත් නොවීම. ශ්‍රී ලංකාව තුළ දක්ෂ වේවැල් ශිල්පීහු සිටිති. නව තාක්ෂණික වේවැල් නිෂ්පාදන ක්‍රමවේදයන් පිළිබද ඔවුන්ට අවබෝධයක් ඇත. නමුත් එම තාක්ෂණික උපකරණ ආනයනය සදහා ඔවුන්ගේ පුද්ගලික වත්කම් ප්‍රමාණය සරිලන්නේ නැත. ලංකාවේ වේවැල් භාණ්ඩ නිෂ්පාදනය සදහා භාවිත කරන්නේ ප්‍රාථමික මට්ටමේ තාක්ෂණික ක්‍රමවේදයන්ය. වේවැලක් අවශ්‍ය ආකෘතියට නැමීම සදහා ඔවුන් සිදු කරන්නේපිළිස්සීම සිදු කරඅවශ්‍ය ප්‍රමාණයට නැමීමයි. නමුත් විදේශ රටවල් තුළ,රසායනික ද්‍රව්‍ය බහාලූ භාජනයකට වේවැල් දමාඑම වේවැල් අවශ්‍ය ප්‍රමාණයටඅවශ්‍ය ආකෘතියට නමා ගැනීමේ ක්‍රමවේදයක් ඇත. මෙම ක්‍රම භාවිතය තුළ වේවැල් නිෂ්පාදන බොහෝ කලක් පවත්වා ගත හැක. එංගලන්තයේවික්ටෝරියා යුගයේ පවා සිදු කළවේවැල් නිෂ්පාදන අදටත්විවිධ කෞතුකාගාර තුළ පවතින්නේ මෙයට සාක්ෂි සපයමිනි. ඇමරිකාවේ,ස්මිත්සෝනියන්(smithsonianකෞතුකාගාරයේවික්ටෝරියා යුගයේ සිදු කළ වේවැල් පුටුවක් අදටත් ආරක්ෂාකාරීව ඔබට දැක බලා ගත හැක. එහෙත් ලංකාවේ ප්‍රාථමික මට්ටමේ තාක්ෂණික ක්‍රමවේදයන් තුළවේවැල් නිෂ්පාදනයන්ගේ ආයු කාලය අඩු වේ. ලංකාව තුළටත් නව තාක්ෂණික වේවැල් නිෂ්පාදන උපකරණ ගෙන ඒම තුළ දිගුකාලින කල් පැවැත්මක් සහිත වේවැල් නිෂ්පාදන ලංකාව තුළ සිදු කිරීමට අවකාශය ලැබෙනු ඇත. ඒ සදහා රාජ්‍යම මැදිහත්වීම අවශ්‍ය වේ.
      වත්මනේ රදාවඩුන්නේ වේවැල් සම්ප්‍රදාය පිරිහීමට තවත් එක් හේතුවක් වන්නේපාරම්පරිකව රැගෙන ආ වේවැල් කලාව සමග නව පරම්පරාව මුහු නොවීමයි. රදාවඩුන්න/සිරි මිහිදු විද්‍යාලය,වත්මනේ දක්ෂ දූ දරු පිරිසකගෙන් සැදුම්ලත් දීප්තිමත් පාසලකි. ඔවුන් උසස් අධ්‍යාපනය සදහා යොමු වන අතර වේවැල් භාණ්ඩ නිෂ්පාදනය සදහා යොමුවන ප්‍රතිශතය ඉතාමත් අල්පය. එසේම වත්මනේපෞද්ගලික ඇගලුම් කම්හල් සදහා රදාවඩුන්නෙන්බොහෝ තරුණ පිරිසක් ශ්‍රම දායකත්වය ලබා දෙමින් සිටියි. මේ සියලු කරුණු සමග පෙනීයන්නේ වත්මනේ උදා වී ඇත්තේරදාවඩුන්නේ සාම්ප්‍රදායික වේවැල් නිෂ්පාදනයේ සංක්‍රාන්තික අවදියක් බවයි. මේ පිළිබදව අව්‍යාජ අදහස් දැක්වීමකින් එක් වූ නිහාල්,අනුර,විජේරත්න,කුමාර,ෂේන් ප්‍රභාත් ඇතුළු රදාවඩුන්න ගම්වාසීන්වදසහෘදයාංගමව සිහිපත් කිරීමට අමතක නොකරමි.
       රදාවඩුන්න වේවැල් කලාව සමග පරිහානියට යන්නේ,රදාවඩුන්නේ ජනතාවගේ ජීවිකාව පමණක්ම නොවශ්‍රී ලාංකික අපේ සම්ප්‍රදායයි. රජය හා ජාතික ශිල්ප සභාවසංචාරක මණ්ඩලය ආදී වගකිව යුතු සමස්ත ආයතනයන්ගේ දෑස්රදාවඩුන්නේ වේවැල් සම්ප්‍රදාය උදෙසා යොමු විය යුතුම කාලය දැන් උදා වී ඇත. මේ සදහා දේශීය හා විදේශීය මට්ටමෙන් උපකාර සිදු කළ යුතුය. එවිට වේවැල් සාම්ප්‍රදායෙන් ඈත් වී ගිය අපේ ප්‍රජාවනැවත එහි උන්නතිය උදෙසා ඒකාත්මික වනු ඇත. එසේ නොවුනහොත්ශ්‍රී ලාංකික අපට සිදුවන්නේඅනාගත පරපුරට වේවැල් කලාව තුළින් ගොඩ නැගුණු අපේ සම්ප්‍රදාය පිළිබදදෑසින් දැක වටහා ගැනීමට ඉඩ හැරීම නොවසිතින් සිතා මනස් සිතුවමකින් එය ගෙත්තම් කිරීමට ඉඩ හැරිම ම පමණකි.                                  
                                                                                                                        අයි.ඒ සචිනි නිමල්කා