Tuesday, July 30, 2019

දහම ඇත සැඟවිලා...


සංස්කෘතීන්, සම්ප්‍රදායන් ආදිය පිරිහෙන අවධියක, එහි සුරක්ෂිතභාවය උදෙසා, අවි ආයුධ අතට ගත යුතුම බව බොහෝ දෙනෙක් විශ්වාස කරති. ඒ වෙනුවෙන් අනෙකා සමග ගැටුම් ඇති කරගත යුතුම බව බහුතර විශ්වාසයයි. නමුත්, කලාකරුවෙක්ට, තම නිර්මාණශිලිත්වය අවියක් කොට, නිහඬ විප්ලවයක්, සමාජය තුළ සිදු කර හැක. ඒ බව මොනවට පසක් කරන, කලා නිර්මාණ බොහොමයක් කලා ක්ෂේත්‍රය තුළ, අපට හමු වේ. 
එකී කාර්‍යභාරයේ සුවිශේෂී සංශේපයක් ලෙස, ගීතය අපිට අර්ථකථනය කළ හැක. 
චාමර වීරසිංහ විසින් ගායනා කරන, පහත දැක්වෙන ගීතය, සෘජු ලෙස, විප්ලවීය ගීතයක් ලෙස නොපෙනුන ද, නොදැනුන ද, ඒ තුළ මුදාහරින යථාර්තවාදීත්වය අපට සාවද්‍ය යැයි බැහැර කළ හැකි නොවේ. මන්ද, මෙකී ගීතය පුරාවට පවතින්නේ,  මිනිස් චින්තනයේ වත්මන් ඛේදවාචකයයි. 

"සඳට සඳ එළියට

 මලට මල් පොකුරට

 කවියෝ කවි ලීවට

 වෙනස් වේවිද 

 මේ මිනිස්සුන්ගේ හිත" 


සියක් තරු මැද සුදිලෙන්නේ එක සඳක් බව අප අසා ඇත. ඒ සඳ අනුපමේය බව, අචින්ත බව බොහෝ දෙනා, විවිධ විදිහට, විවිධ කාලයන් තුළ අපිට පවසා ඇත. එමෙන්ම, මලෙහි පිවිතුරු බව සේම, එකී මල් ගොමු තිසාරා බඹරු රොන් පහස සොයන බවද, අපි කුඩා කළ සිට දැක ඇති, අසා ඇති දෙයකි. මෙලෙස සුන්දරත්වය අඟය කරමින්, බොහෝ චිත්ත සංකල්පනා ශ්‍රාවක සිතෙහි මතු කරමින්, බොහෝ කවියන් විවිධ දෘෂ්ටියෙන් ගීත, කවි රචනා කර ඇත. නමුත්, කෙතරම් සුන්දර සංකල්පනා, ගීතය, කවිය තුළ, සමාජය වෙත මුදා හැරිය ද, මිනිසුන්ගේ සිතුවිලි හා ඔවුන් සමාජය වෙත හෙලන්නා වූ දෘෂ්ටිය වෙනස් වේවිද? මෙහි රචකයාට ඇති ප්‍රබල ම ප්‍රශ්නය එය යි. කෙතරම් සුන්දර වස්තු විෂයන් පාදක කර ගනිමින්, ගීත රචනා වුවද, මිනිසුන් තුළ පවතින අශ්ශීල ගති නොවෙනස්ව පැවතීම, සැබවින්ම ප්‍රශ්නයකි. මලක මොළකැටි බව ගීතයෙන් රසවිදින්නා සේම, මිනිසුන්ගේ සිත් සතන්, අනෙකා වෙනුවෙන් සංවේදී වන්නේ නම් එය කෙතරම් අපුර්ව ජනකද? එසේම, ගීත රසවින්දනය තුළ, මිනිසුන්ගේ මානුෂීය ගුණාංග ඔප් නැංවේ නම්, කලාවේ කාර්යභාරය ඒ තුළ, තෘප්ත වී ඇත. නමුත් ඒ සියල්ල එසේ නොවීම පිළිබද, ගීතයකින් වුව අසන්නට ලැබීම, සතුටු විය හැකි කරුණක් නොවන බව, ඔබ මොහොතකට හෝ සිතා තිබේද?

"උමතුවෙන් මත් වෙලා

  රාගයෙන් ලොල් වෙලා

  මනස වී දෝ මුලා

  සුමුදු මල් පරවෙලා"


බොහෝ මිනිසුන්, උමතු ලෝකයක ජිවත් වෙයි. ඔවුන් කටයුතු කරන්නේ, මමත්වයෙන් පිරුණු ලෝකයක වේ. අනෙකා පිළිබදව, සංවේදී වීමට තරම්, කාරුණික මනසක් බොහෝ මිනිසුන් සතුව නැත. මිනිසුන් නිරන්තරයෙන් උත්සාහ ගන්නේ, තම අරමුණු කෙසේ හෝ තෘප්ත කර ගැනීමටයි. පන්චේන්ද්‍රයන් පිනවීමට එහා ගියපු සහනදායී ජීවන පැවැත්මක් පිළිබද ව, සිතන්නට පවා, වත්මන් මානව සංහතියට දවසේ පැය 24 ප්‍රමාණවත් නොවී ඇත. එවන් මිනිසුන් සිටින සමාජයක, පියා විසින් තම දියණිය කෙලෙසීම, තම පුතා විසින් මව කෙලෙසීම වැනි කාරණා පුදුම සහගත නොවේ. එසේම ආදරණීය දෙමාපියන්ට නොසලකන, දෙමාපියන් බලු කූඩුවක දැමීමට තරම්, ආකෘතඤ වූ දරුවන් සමාජය තුළ බිහි වීම, පුදුම සහගත නොවේ. එබැවින් ඔබ, සමාජය තුළ, දිනෙන් දින අහන, දකින, සාහසික ක්‍රියා පිළිබද පුදුම නොවන්න. අවශ්‍ය වන්නේ, සියලු මිනිසුන් මුලාවෙන් අත්මිඳීමයි. නමුත්, ඔබේ මනස, නිරවුල් ලෙස පවත්වා ගැනීමට ඔබට හැකි වන තාක්, ඔබ ජිවත් වන්නේ, මුලාවෙන් පිරුණු ලෝකයක බව, ඔබට නොවැටහෙනු ඇත. එබැවින් කවියන් ගයන,මවන සුන්දර ලෝකය, අප සියල්ලටම මනඃකල්පිත ලෝකයක් පමණක්ම වනු ඇත. 

"අඳුර ලොව රජ වෙලා

  මිනිස් සිත ගොළු වෙලා

  විශ්වයම වී මුලා

  දහම ඇත සැඟවිලා"


බලය මත, සත්‍යවාදී බව සැඟව ගොස් ඇත. සියලු දේ ජයග්‍රහණය කරනුයේ, සාධාරණත්වය මත හිඳ නොව, බලාධිකාරීත්වය මතය. නමුත්, එහි ඇති පුදුමය නම්, මිනිසුන් අසාධාරණය වෙනුවෙන් කිසිදු හඬක් නොනැගීමයි. නමුත් සියලු මිනිසුන්, බාහිර රූපය තුළ, බොහෝ භක්තිවන්තයෝය. එසේම, තමන් අදහන ආගමට සාපේක්ෂව, බොහෝ ධර්ම කරුණු, පිළිබද න්‍යායාත්මක අවබෝධයක් බහුතර ජනතාවට පවතී. එමෙන්ම, තමන් ධාර්මිකයෙකු බව, අනෙකා වෙත පෙන්වීම, වත්මන් මෝස්තරයක් වී ඇත. නමුත්, ධර්මය  පවතින්නේ, ප්‍රදර්ශනාත්මක ලෙස නිෂ්ඵල වූ තෘප්තියක් ලබන්නට නොවේ. ඔබ එය අවබෝධ කර නොගන්නා තාක්, මුළු විශ්වයම පවතින්නේ, බොරුවෙන් පිරුණු, මායා ලෝකයක ය. සියලු දේ ඇති වී නැති වී යන බව ඔබට අවබෝධයක් තිබේ නම්, ඔබ අනෙකා වෙත වෛරී බැල්මක් වුව, හෙලන්නේ නැත. එසේම, එකී අනිත්‍යතාව ඔබ ප්‍රායෝගිකව අත් දකින්නේ නම්, කිසිදු විටක, ඔබ මමත්වයෙන් ක්‍රියා නොකරනු ඇත.  ධර්මය සැඟ වී ගිය තැනක, යහපත් කිසිදු දෙයක් බලාපොරොත්තු විය නොහැක. එබැවින් නිරන්තරයෙන්, ඔබ ධර්මය ප්‍රායෝගිකව භාවිතයට ගනිමින් දැහැමි දිවි පෙවතක් ගත කළ යුතුමය. මෙම ගීතය, එවන් ධාර්මික දිවි පෙවතකින් ඔබ  බැහැර වීම පිළිබද වූ ශෝකාලාපයක් යැයි, මට සිතෙයි. මොහොතක් දෑස වසා, මෙම ගීතය අසා බලන්න.

                                                                         අයි.ඒ. සචිනි නිමල්කා

No comments:

Post a Comment