වේවැල් වලින් සැදි විසිතුරු කලා වැඩ
පෙර සිට පැවති මුත් නැත දැන් එයට ඉඩ
යළි පන දිය යුතුයි එන බාධකය මැඩ
සුරකිමු අපේ ලක්මව කරවමින් හැඩ
අන් සියලු රටවලට වඩා බොහොම අපූරුවට විදගත
හැකි ස්වභාව සුන්දරත්වයක් ලංකාවට උරුමය. ඒ වගේම බොහොම අභිමානයෙන් කතා කළ හැකි
සංස්කෘතියක් ලංකාවට උරුමය. මෙලෙස බොහොම අපූරුවට, අභිමානයෙන් පදරුත් සපයන ලංකා ධරණීතලයට නව්‍යකරණයේ ආගමනයත් සමග සාම්ප්‍රදායිකත්වයෙන්
බැහැර විය හැකිද? එලෙස සාම්ප්‍රදායිකත්වයෙන් බැහැර වූ නව්‍යතාවයක ප්‍රගතිශීලි ඉදිරි
ගමනක් තිබිය හැකිද? මේ සියලු ගැටලු වලට පිළිතුරු, සාම්ප්‍රදායික වේවැල් රටාවන් හා මුසුව
ගවේෂණය කිරීම, කාලෝචිත යැයි,සිතමි.
කොළඹ-නුවර ප්‍රධාන මග ගමන් ගන්නා
අතරවාරයේ හමුවන, රදාවඩුන්න නම් ගම්මානය ඔබට මතකද?? එදා වළගම්බා රජු මෙම ගම්මානයේ රැදී
සිටි නිසාවෙන් මුල් කාලයේ මෙය හදුන්වා ඇත්තේ “රජාවැඩවුන්න” නමිනි. පසුව කටවහරේ
පහසුවට, "රදාවඩුන්න” ලෙස භාවිතයට ගන්නා ලදි. මෙම
රදාවඩුන්න ගම්මානය හා සාම්ප්‍රදායික වේවැල් කලාව අතර ඇත්තේ අවියෝජනීය
සම්බන්ධතාවයකි. නමුත් රදාවඩුන්නට පෙර මෙම වේවැල් සම්ප්‍රදාය ගාල්ල, රත්ගම ප්‍රදේශය තුළ ව්‍යාප්ත වී තිබී
ඇත. නමුත් මහා පරිමාණයෙන් මෙම වේවැල් කලාව මුල් බැසගෙන ඇත්තේ රදාවඩුන්න ගම්මානය
තුළය. ඒ 1960 වසරේදී පමණය. වේවැල් නිෂ්පාදනය තුළ ප්‍රධාන අමුද්‍රව්‍ය වන්නේ, වේවැල් බව, ඔබට අමුතුවෙන් කිව යුතු නැත. වේවැල් ප්‍රධාන
වශයෙන් ප්‍රභේද තුනක් පවතී. එනම්, මා
වේවැල්, ගෙඩි වේවැල්, තම්බටු වැල් යනාදියයි. එසේම වේවැල්
අතුරු ප්‍රබේද ද, පවතී. ඒ අතර කුකුල් වැල්, තුඩ රෑන ආදිය දැක්විය හැකිය. අතීතයේ සිට
වත්මන දක්වා පරම්පරා හතරක් මෙම වේවැල් සම්ප්‍රදාය තුළ නියැලී, එය
මේ වනතෙක් පවත්වා ගෙනවිත් ඇත. එදා රදාවඩුන්න තුළ ජිවත් වූ මිනිස්සුන්ගේ ප්‍රධාන
ජීවිකාව වුයේද, වේවැල් නිෂ්පාදනයේ නියැලීමයි. 1988 වසරේදී පමණ
වේවැල් පුහුණු කිරීමේ මධ්‍යස්ථානයක්, ශ්‍රී ලංකාව තුළ ආරම්භ කර ඇත. එහි
පුහුණු කිරීමේ කටයුතු සිදු කර ඇත්තේ, තායිලන්ත හා පිලිපීන ජාතික නිළධාරින්
දෙපළක් විසිනි. මෙම පුහුණු මධ්‍යස්ථානය තුළ, වේවැල් පදම් කිරීම හා වේවැල් පුස්
බැදීමකින් තොරව, කල් පවත්වා ගන්නේ කෙසේද, යනාදී
කරුණු පිළිබදව ලාංකික වේවැල් ශිල්පීන් දැනුවත් කර ඇත. නමුත් මෙම වේවැල් පුහුණු
ආයතනය පැවතුනේ අවුරුද්දක් පමණ කාලයකි. එදා වේවැල් පුහුණු මධ්‍යස්ථානයේ පුහුණුව ලැබුවෝ, අද
ජිවතුන් අතර ද, නැති තරම්ය. එම ආයතනය අද, පුහුණු
ඉංජිනේරු ආයතනයකි. කෙතරම් දුෂ්කරතා පැමිණියත්, පරම්පරාවෙන් උරුම වන වේවැල් කලාව වත්මන
දක්වා පවත්වා ගෙන එන්නට රදාවඩුන්නේ දක්ෂ වේවැල් ශිල්පීන්ට හැකියාව ලැබී ඇත. එබැවින්
ශ්‍රී ලංකාව කොතෙකුත් නව්‍යතාවයන් වැළද ගත්තද, වේවැල් සම්ප්‍රදාය පිරිහීමට ඉඩ දිය
යුතු නැත. මන්ද රදාවඩුන්නේ වේවැල් කලාව යනු, ශ්‍රී ලංකාවේ සාම්ප්‍රදායිකත්වය
පිළිබිඹු කරන තවත් එක් කැඩපතක් වන නිසාවෙනි.
නමුත් වත්මනේ රදාවඩුන්නට එළබ ඇත්තේ
අති දුෂ්කර කාල පරාසයකි. මන්ද, වේවැල් කලාවේ ප්‍රධාන අමු ද්‍රව්‍ය වන
වේවැල් පවා සපයා ගැනීම වත්මනේ වේවැල් භාණ්ඩ නිෂ්පාදන ශිල්පීන්ට අසීරු කටයුත්තක්
බවට පත්ව ඇත. වේවැල් වගාව සිදු වන්නේ රදාවඩුන්න ගම්මානය තුළ නොවේ. ඔවුන් වේවැල්
ගෙන්වා ගනු ලබන්නේ ප්‍රධාන වශයෙන් පොලොන්නරුව, මනම්පිටිය ප්‍රදේශයෙනි. ඒ වගේම මාතර, මොණරාගල, රත්නපුර
ප්‍රදේශයන්ගෙන් ද, සුළු වශයෙන් වේවැල් ලබා ගනියි. එම වේවැල්
ගෙන්වන්නට වෙනම අතරමැදි පිරිසක් ඇත. සෘජු ලෙසම වේවැල් ශිල්පින් අතට වේවැල් පත්වන්නේ
නැත. මෙලෙස දේශීය වශයෙන් අමු ද්‍රව්‍ය සපයා ගැනීමේ අපහසුව නිසා, පෞද්ගලික
මට්ටමෙන් මැලේසියාව, ඉන්දුනීසියාව ආදී රටවල් තුළින් වේවැල්
ආනයනය කිරීමට ඔවුනට සිදු වී ඇත. එයට රාජ්‍යමය වශයෙන් කිසිදු මැදිහත් වීමක් නොකිරීම
දැවැන්ත ගැටලුවකි. එසේම පිටරටින් ආනයනය කරන ලද වැල් රසායන ද්‍රව්‍ය බහාලූ ටැංකි වල
දමා මෙරටට ගෙන්වන බැවින් එම වේවැල් වල කල් පැවැත්ම අඩුය. රසායන ද්‍රව්‍ය බහාලූ
ටැංකියක් පැය හතරක පමණ කාලයක් විවෘත කර තබා වේවැල් ලබා ගත යුතුවේ. එබැවින් වත්මනේ
වේවැල් කලාවේ පරිහානියට, අමු ද්‍රව්‍ය සපයා ගැනීමේ දුෂ්කරතාව ප්‍රබල
හේතුවක් බවට පත්ව ඇත. එසේම වේවැල් බොහෝදුරට වැවෙන්නේ ජලපෝෂක කලාප තුළය. එය අධිරක්ෂිත
ශාකයකි. එබැවින් වේවැල් ප්‍රවාහනය කිරීම සදහා රජයේ බල පත්‍රයක්(permit) අවශ්‍ය
වේ. නමුත් මා වේවැල් ප්‍රබේදය රත්නපුර ප්‍රදේශයේ ජලපෝෂක කලාප තුළ බහුලව වැවෙන
බැවින්, මා වේවැල් ප්‍රවාහනය කිරීම සදහා බල පත්‍රයක්
අවශ්‍ය නොවේ.
අතීතයේ වේවැල් කලාව තුළ වැඩි වශයෙන්
සිදු වුයේ සාම්ප්‍රදායික වේවැල් පුටු නිෂ්පාදනයයි. නමුත් අද වේවැල් පුටු
නිමැයුම්කරුවන් සිටින්නේ ඉතා අල්ප ප්‍රමාණයකි. එසේම වේවැල් පුටු නිෂ්පාදනය කරනු
ලබන්නේ ඇනවුමක් පැමිණි විට පමණි. වත්මනේ රදාවඩුන්නේ බොහෝ විට නිපදවන්නේ වේවැල් පුටු
නොව ,වේවැල් වලින් නිමැවුන විසිතුරු දෑ ය. වේවැල්
තොප්පි, වේවැල් කූඩ, වේවැල් වට්ටි, වේවැල්
රාක්ක යනාදිය වේවැල් වලින් රදාවඩුන්න තුළ බිහිවන වේවැල් රටාවන්ය. එහෙත් ඉතා අව්‍යාජ
ලෙස තම අදහස් දැක් වූ රදාවඩුන්නේ අපේ මිනිසුන් සදහන් කළේ “කලාවට මිලක් නියම කළ
නොහැකි බවයි”. නමුත් ඔවුන්ගේ පැවැත්මට සාධාරණ මිලක් නියම වීම අවශ්‍ය වේ.
එසේම ලංකාවේ සාම්ප්‍රදායික කලා
නිපැයුම් පිළිබද විදේශිකයන් දැනුවත් කිරීම කාලීන අවශ්‍යතාවයකි. සිංගප්පූරුව වැනි
රටවල් එම රටේ දේශීය නිෂ්පාදන පිළිබද හා ඒවා මිලට ගත හැකි ස්ථාන පිළිබදව විදේශිකයන්
දැනුවත් කරයි. ලංකාව තුළ පිත්තල නිෂ්පාදන, හම් නිෂ්පාදන, මැණික්
නිෂ්පාදන ආදිය පිළිබද විදේශිකයන් දැනුවත් කළ ද, වේවැල් නිෂ්පාදන පිළිබද විදේශිකයන්
දැනුවත් නොකිරීම ද, වේවැල් කලාවේ ප්‍රගමණයට ප්‍රබල
ගැටලුවකි. ලංකාව තුළ වේවැල් සම්ප්‍රදායක් තිබෙනවා යන්නත්, එම
නිෂ්පාදන රදාවඩුන්නේදී ඔවුනට මිලදී ගත හැකි බවත්, දැනගත හැකි වන්නේ කොළඹ-නුවර ප්‍රධාන මග
ගමන් ගන්නා විදේශිකයන්ගේ දෑස්, අහම්බෙන් හෝ රදාවඩුන්න වෙත යොමු
වුවහොත් පමණි. වත්මනේ,කොළඹ-නුවර මග ගමන් ගන්නා විදේශිකයන්ට ද, එම
තත්ත්වය සීමා කර ඇත. මන්ද,විදේශිකයන් රැගත් වාහන නැවැත්විය හැකි
ස්ථාන වත්මනේ, සංචාරක මණ්ඩලය මගින් අනුමත කර ඇත. එම අනුමත
ස්ථාන අතර, රදාවඩුන්න යන නම නොවීම, වේවැල්
කලාවේ පරිහානියට තවත් එක් හේතුවක් වී ඇත. කජුගම, පිළිමතලාව සංචාරක මණ්ඩලයේ අනුමත ස්ථාන
වන විට සංචාරක මණ්ඩලයට “රදාවඩුන්න” නාමය අමතක වූයේ කෙසේද?එය, සම්ප්‍රදායට
මුල් තැන දෙන ශ්‍රී ලාංකික ඔබ, හදවතින් ඇසිය යුතු ප්‍රශ්නයක්.
සාම්ප්‍රදායික වේවැල් කලාවේ පරිහානියට
තවත් එක හේතුවකි, නව තාක්ෂණික උපකරණ ලංකාවට ගෙන ඒම සදහා රජය
මැදිහත් නොවීම. ශ්‍රී ලංකාව තුළ දක්ෂ වේවැල් ශිල්පීහු සිටිති. නව තාක්ෂණික වේවැල්
නිෂ්පාදන ක්‍රමවේදයන් පිළිබද ඔවුන්ට අවබෝධයක් ඇත. නමුත් එම තාක්ෂණික උපකරණ ආනයනය සදහා
ඔවුන්ගේ පුද්ගලික වත්කම් ප්‍රමාණය සරිලන්නේ නැත. ලංකාවේ වේවැල් භාණ්ඩ නිෂ්පාදනය
සදහා භාවිත කරන්නේ ප්‍රාථමික මට්ටමේ තාක්ෂණික ක්‍රමවේදයන්ය. වේවැලක් අවශ්‍ය ආකෘතියට
නැමීම සදහා ඔවුන් සිදු කරන්නේ, පිළිස්සීම සිදු කර, අවශ්‍ය
ප්‍රමාණයට නැමීමයි. නමුත් විදේශ රටවල් තුළ,රසායනික ද්‍රව්‍ය බහාලූ භාජනයකට වේවැල්
දමා, එම වේවැල් අවශ්‍ය ප්‍රමාණයට, අවශ්‍ය
ආකෘතියට නමා ගැනීමේ ක්‍රමවේදයක් ඇත. මෙම ක්‍රම භාවිතය තුළ වේවැල් නිෂ්පාදන බොහෝ
කලක් පවත්වා ගත හැක. එංගලන්තයේ, වික්ටෝරියා යුගයේ පවා සිදු කළ, වේවැල්
නිෂ්පාදන අදටත්, විවිධ කෞතුකාගාර තුළ පවතින්නේ මෙයට සාක්ෂි සපයමිනි. ඇමරිකාවේ,ස්මිත්සෝනියන්(smithsonian) කෞතුකාගාරයේ, වික්ටෝරියා
යුගයේ සිදු කළ වේවැල් පුටුවක් අදටත් ආරක්ෂාකාරීව ඔබට දැක බලා ගත හැක. එහෙත් ලංකාවේ
ප්‍රාථමික මට්ටමේ තාක්ෂණික ක්‍රමවේදයන් තුළ, වේවැල් නිෂ්පාදනයන්ගේ ආයු කාලය අඩු
වේ. ලංකාව තුළටත් නව තාක්ෂණික වේවැල් නිෂ්පාදන උපකරණ ගෙන ඒම තුළ දිගුකාලින කල්
පැවැත්මක් සහිත වේවැල් නිෂ්පාදන ලංකාව තුළ සිදු කිරීමට අවකාශය ලැබෙනු ඇත. ඒ සදහා
රාජ්‍යම මැදිහත්වීම අවශ්‍ය වේ.
වත්මනේ රදාවඩුන්නේ වේවැල් සම්ප්‍රදාය පිරිහීමට තවත් එක් හේතුවක් වන්නේ, පාරම්පරිකව
රැගෙන ආ වේවැල් කලාව සමග නව පරම්පරාව මුහු නොවීමයි. රදාවඩුන්න/සිරි මිහිදු විද්‍යාලය,වත්මනේ
දක්ෂ දූ දරු පිරිසකගෙන් සැදුම්ලත් දීප්තිමත් පාසලකි. ඔවුන් උසස් අධ්‍යාපනය සදහා
යොමු වන අතර වේවැල් භාණ්ඩ නිෂ්පාදනය සදහා යොමුවන ප්‍රතිශතය ඉතාමත් අල්පය. එසේම
වත්මනේ, පෞද්ගලික ඇගලුම් කම්හල් සදහා රදාවඩුන්නෙන්, බොහෝ
තරුණ පිරිසක් ශ්‍රම දායකත්වය ලබා දෙමින් සිටියි. මේ සියලු කරුණු සමග පෙනීයන්නේ
වත්මනේ උදා වී ඇත්තේ, රදාවඩුන්නේ සාම්ප්‍රදායික වේවැල්
නිෂ්පාදනයේ සංක්‍රාන්තික අවදියක් බවයි. මේ පිළිබදව අව්‍යාජ අදහස් දැක්වීමකින් එක්
වූ නිහාල්,අනුර,විජේරත්න,කුමාර,ෂේන් ප්‍රභාත් ඇතුළු රදාවඩුන්න ගම්වාසීන්වද, සහෘදයාංගමව
සිහිපත් කිරීමට අමතක නොකරමි.
රදාවඩුන්න වේවැල් කලාව සමග පරිහානියට යන්නේ,රදාවඩුන්නේ ජනතාවගේ ජීවිකාව පමණක්ම නොව, ශ්‍රී
ලාංකික අපේ සම්ප්‍රදායයි. රජය හා ජාතික ශිල්ප සභාව, සංචාරක මණ්ඩලය ආදී වගකිව යුතු සමස්ත
ආයතනයන්ගේ දෑස්, රදාවඩුන්නේ වේවැල් සම්ප්‍රදාය උදෙසා යොමු විය
යුතුම කාලය දැන් උදා වී ඇත. මේ සදහා දේශීය හා විදේශීය මට්ටමෙන් උපකාර සිදු කළ
යුතුය. එවිට වේවැල් සාම්ප්‍රදායෙන් ඈත් වී ගිය අපේ ප්‍රජාව, නැවත
එහි උන්නතිය උදෙසා ඒකාත්මික වනු ඇත. එසේ නොවුනහොත්, ශ්‍රී ලාංකික අපට සිදුවන්නේ, අනාගත
පරපුරට වේවැල් කලාව තුළින් ගොඩ නැගුණු අපේ සම්ප්‍රදාය පිළිබද, දෑසින්
දැක වටහා ගැනීමට ඉඩ හැරීම නොව, සිතින් සිතා මනස් සිතුවමකින් එය ගෙත්තම්
කිරීමට ඉඩ හැරිම ම පමණකි.
අයි.ඒ සචිනි නිමල්කා
No comments:
Post a Comment