Sunday, July 14, 2019

පිච්ච මලක සුවද


බසය වේගයෙන් විත් නතර කළේ, ඇගේ දෑස් මා වෙත යා කරමිනි. 

" මේ එයාමද??? "

මගේ හදවත ඉතා වේගයෙන් ස්පන්දනය වෙයි. එකවර මුළු ලෝකයම මගේ ඉදිරිපිට ඇති හැඟීමක් මට දැනෙයි. කොළොම්බස්ට වුව, ඇමරිකාව සොයා ගත් පසුව ද, මේ තරම් සතුටක් නොදැනෙන්නට ඇත. 

" ඔව්..........ඔව්........මේ එයාමයි..... "

හීන් දා බිඳු අතරින් මම, බසයට ගොඩවන ඇය දෙස බලා සිටියෙමි. ඇය වෙනදා මෙන්ම, අවිහිංසක ලීලාවෙන් විත්, මා ඉදිරිපස අසුනෙහි හිඳ ගත්තාය. නමුත් ඇය, තවම මාව දුටුවේ නැත. කෙසේවෙතත්, ඒ ඇස් දුටු වනම, වෙනදා මෙන්ම, මා තුළ ඇති වූයේ නිම් හිම් නැති සෙනෙහසකි. 

ඇගේ අවිහිංසක මුහුණ, කනට ඇසෙන නෑසෙන වචන, මා සිත සොරා ගත්තේ, දැනට අවුරුදු දෙකකට පමණ පෙර, කැළණි සරසවි බිමෙහි දීය.
එදා මෙන්ම අදටත්, ඒ අතීතය, මගේ මතක පිටු අතර බොහොම පරිස්සමට තැන්පත් වී ඇත. 

" ඒයි ප‍්‍රවීනයා.....උඹට ඇත්තටම පිස්සුද?  පිච්ච මල් ගොඩක් ඔළුවේ ගහ ගත්තට, සල්වාරියක් පොරවගෙන, බිම බලාගෙන අඩිය තිබ්බට, එකී වෙන ආගමක කෙල්ලෙක් බං....සිංහල අපි මොකටද ත්‍රීශුලයක් බෙල්ලේ එල්ලගන්න ඔය තරමටම දඟලන්නේ ?......."

" ධර්ම චක‍්‍රයයි, ත්‍රීශුලෙයි කියලා බෙදා ගත්තෙත් අපි අපිමනේ රජිත.....ඒවා කතා කරලා වැඩක් නෑ....මොනා වුනත්, වෙන කෙල්ලෝ වගේ ඩෙනිමයි, ටී ෂර්ට් එකයි නොඇන්ඳට, එකී මට රත්තරං.... ”

 "ආදරේ අන්ධයිලූ කොල්ලෝ.....තේරෙයි දවසක මේ රජිතයගේ කතාවේ ඇත්ත නැත්ත.... "

මගේ හිතෙහි සවීනා පිළිබද ඇති ආදරයට, මගේ මිතුරන් දැරුවේ එවැනි අදහසකි.

සවීනාගේ සම්පුර්ණ නම, සවීනා රාජරත්නම්ය. ඇය හින්දු ආඟමිකයෙකි. නමුත් ඇයට බොහොම අපූරුවට සිංහල කතා කිරීමට පුළුවන. බොහෝ දෙනෙකු ඇයට ආදරයට ආමන්ත‍්‍රණය කරන ලද්දේ, "සවී" යන නාමයෙනි. 

ප‍්‍රවීන් සමරකෝන් නම් මම, සවීට බොහෝ සෙයින් ආදරය කරන ඒකපාර්ශවික පේ‍්‍රමවන්තයෙක් වෙමි. අදටත් සවී මගේ ආදරය පිළිබද කිසිවක් දන්නේ නැත. වචනයකින් හෝ ඇයට ආදරය ප‍්‍රකාශ කරන්නට, මා හට සිංහල - හින්දු භේදය දැඩි බාධාවක් විය. එයට හේතුව මම පවුලේ එකම දරුවා වීමයි. අපේ පවුලේ සියලූ දෙනාම සිංහල ජාතිය, බෞද්ධ ආගම හිස් මුදුණින් අදහන්නෝ වෙති. එබැවින් කිසිදු මොහොතක සවීනාට මාගේ මා පියන් කැමැත්ත ප‍්‍රකාශ නොකරන බව, මම දැඩිව විශ්වාස කළෙමි.

නමුත් සවීනා, සරසවි ජීවිතය තුළ, මට අමතක කළ නොහැකි සොඳුරුතම සිහිවටනයකි. ඇය මට ප‍්‍රථමයෙන් මුණ ගැසෙන්නේ සරසවියේ තල්වැට අසළ දීය. කහ පැහැයට හුරු සල්වාරියක් හැඳ සිටි ඇය, අවිහිංසකභාවයේ ප‍්‍රතිමූර්තියක්  ලෙස මට පෙනුණි. ඇය එදා සිටියේ, මගේ යෙහෙළියක වූ මදු සමඟය. එබැවින්, මා හට සවී සමග කතා කිරීමට, ඇය දුටු ප‍්‍රථම දිනයෙහි ම අවස්ථාව ලැබුණි.

               " මදු....කවුද මේ අලූත් යාළුවා? "

               " ආ.........ප‍්‍රවීන් මේ සවීනා....සවී, මේ ප‍්‍රවීන්....... "

               " අඳුනගන්න ලැබුණු එක සතුටක්. කොහෙද මේ දුවගෙන දුවගෙන යන්නේ දෙන්නා..."

               " බඩගිනියි ප‍්‍රවීන්..කන්න යනවා...අද සවීනා උළුදු වඬේ ගෙනත්. ඔයත් යමු අපිත් එක්ක. "

               " මට බෑ මදු...වෙන දවසක එන්නම්කෝ...දැන් මේ ලෙක්චර් එකකට යනගමන්... "

එදා සවීනාට තවත් ළං වීමට තිබූ අවස්ථාව මගහැරීම පිළිබද, මම අදටත් දුක් වෙමි. කෙසේවෙතත්, එදා සිට මම, සවී පිළිබද ඉතා උනන්දුවෙන් පසු වූයෙමි. නිතර නිතර මදු හමුවීමට, විවිධ හේතු මා විසින් නිර්මාණය කරගන්නා ලදි. එසේ සිදු කළේ, සවී හමුවීමට මා සිත තුළ තිබූ දැඩි ආශාව නිසාවෙනි. 

මෙලෙස දිනෙන් දින ගත වන විට, සවී හා මම බොහෝ ළඟ මිතුරන් බවට පත් විය. හැකි සෑම විටම, සවී හා මම මුණගැසීමේ පුරුද්දක් පසුව ඇති විය. අපි ඉතා හොඳ යහළුවන් වුවද, මම ඉතා දැඩි ලෙස ඇයට ආදරය කළෙමි. ඇයත් මට ආදරය බව, මට යම් යම් අවස්ථා වල සිතුනි. නමුත් කිසිම දවසක, අපි ආදරය පිළිබද වචනයකුදු කතා බස් කර නැත. 

   " ප‍්‍රවීන්...තෛපොංගල් ළඟයි. මම ගමේ යනවා... "
     
   " අනේ සවී....ඔයාට යන්නම  ඕනෙ ද? "

   " ඇයි...ඇ..යි...ඔයා එහෙම ඇහුවේ? "

   " නෑ....නෑ.....නික........න්....ඔයා පරිස්සමට ගිහින් එන්න සවී..... "

එම පැනයට මම, පැටලි පැටලී පිළිතුරු දුන් අයුරු අදටත් මට මතකය. 

බෞද්ධ අපි, අලූත් සහල් මංගල්‍ය සමරන විට, හින්දු ඇය තෛපොංගල් උත්සවය සමරයි. ඒ උත්සව දෙකම, නම් වලින් පමණක් වෙනස් වූවකි. සරසවියේදී, සිංහල, හින්දු, ඉස්ලාම් අපි ඔක්කොම එකට එක් වී හෝලි උත්සවය සැමරුවෙමු. එමෙන්ම, සරසවියේ බොහෝ ගැහැණු ළමයින්ගේ, දෑත් හැඩ වූයේ, මෙහෙන්දි රටා වලිනි. ඒ සියලූ සැමරුම් වලට ආගම බාධාවක් නොවීය.

නමුත් සවීනා හින්දු ආගමික වී, මම බෞද්ධ ආගමික වීම පිළිබද, මම දැඩි ලෙස පශ්චාත්තාප වුනෙමි. ඇය බෞද්ධ ආගමික වී, ඩෙනිම ටී ෂර්ටයට හුරු වූවා නම්, තෛපොංගල් වෙනුවට, අලූත් සහල් මංගල්‍ය සැමරුවා නම්, මාගේ පේ‍්‍රමය තුළ, ඇය මා හට සම්මත ගැහැණියක් නොවන්නේද? මෙවැනි විවිධාකාර සිතුවිලි තුළින්, මම එකළ බොහෝ සෙයින් පීඩා වින්දෙමි. එබැවින්, කාලය වේගයෙන් ගත වුවත්, මම ඒකපාර්ශවික පේ‍්‍රමයක, හිමිකරුවෙකු පමණක් ම විය.

 මෙලෙස, සරසවියෙන් නික්මෙන දිනයත් ළග ළග ම එන බව සිහිපත් වූයේ, කැළණි කන්ද නැඟ, තෙල් බැම්ම පසුකරන විට දුටු දුක්මුසු වචන පෙළකිනි.

   "සිව් වසක අවසන,
     කැළණි කන්දෙන් බැස ගියද,
     කැළණි මව්ගෙන් ලද අත්දැකීම්,
     මතකයෙන් බැස නොයනු ඇත...."

ඒ වචන දුටු මාගේ දෙනෙත් තෙත් වූයේ, මටත් නොදැනීමය. 

කැළණි සරසවියේ, සමුගැනීමේ සාදය, මගේ ජිවිතයේ අමතක කළ නොහැකි ඉතා වේදනාකාරී දවසකි. 

" ප‍්‍රවීන්...ඔයා මට මුණගැහුණු හොද යාළුවෙක්. හොද සහෝදරයෙක්. හැමදාම සතුටින් ඉන්න... "

"සවී...ඔයා සතුටින් නම් මාත් සතුටින්...ඔයත් මට මුණගැහුණු හොද.....ස...හෝ...දරියක්...."

"හ්ම්.......පෛත්තියක්කාර කොඩියන්..........( පිස්සු කොල්ලා) ”

   "සවී මං ඔයාට ආදරෙයි...ඔයා මගේ ජීවිතේ...ආගම ප‍්‍රශ්නයක් නෑ සවී...කැම්පස් අවුට් වුනාට දුක් වෙන්නෙ ඇයි සවී? අපි මැරි කරනවනේ. මං ඔයාගේ වෙනවනේ.” එදා මගෙන් මෙවැනි වචන කිහිපයක් බලාපොරොත්තුවෙන් ඇය පසුවුණු බව මම හොදාකාරවම දනිමි. නමුත් එදා මම සිත් පිත් නැති ගල් පිළිමයක් ලෙස නිසොල්මන් විය.

මාපියන් සමග, සවීනා පිළිබද කිසිවක් සදහන් නොකොට, මා ස්වයං විනිශ්චයක එළඹ, පිළිතුරු සෙවීම පිළිබද, අද මා තුළ ඇත්තේ, දැඩි වරදකාරී හැඟීමකි.

" ගැටඹේ බෝධිය....බහින අය ඉක්මනට බහින්න.....”

කොන්දොස්තර මහතාගේ ඒ හඩින්, මම නැවත පියවි සිහිය ලදිමි. 

තවමත් මා අවිවාහක පිරිමියෙකි. මා ඉදිරිපස හිදින්නේ, මගේ සිතගත්, එකම සිතෙහි හිමිකාරියයි. සරසවියෙන් නික්මුණු පසු, මා ඇය දුටු ප‍්‍රථම දවස අදයි.

  සවී....කෝ මේ සවී...ඔයා මටත් හොරෙන් ම බස් එකෙන් බැහැලා ගියාද සවී......................

මගේ ජීවිතයට පැමිණි ඊළග අවස්ථාවද, ඉතා අවාසනාවන්ත ලෙස මගෙන් ගිලිහී ගොස් ඇති බව දැනුනේ, මගේ ඉදිරි අසුනේ වෙනත් කාන්තාවක් හිදගෙන සිටිනු දුටු විටය. මම නම් සැබෑ අවසනාවන්තයෙකි.

මම නුවර බලා ධාවනය වන බසයට ගොඩ වූයේ, ඇසළ මහා පෙරහැර නැරඹීමට ඇති අපේක්ෂාවෙනි. සවී හමු වූයේ එම ගමනෙහි අතරමගදීය.

නුවර පෙරහැර තුළ, විවිධ සංස්කෘතීන් ඒකාබද්ධ වී ඇත. විවිධ දේවාල වලට අයත් පෙරහැරවල් ද, ඇසළ මහා පෙරහැර තුළ ඇත. විෂ්ණු දේවාල පෙරහැර ද, එයින් එක් දේවාල පෙරහැරකි. ශ‍්‍රී ලාංකිකයන් එදා, නිල් ශරීරයකට හිමිකම් කියූ, ගුරුලා වාහනය කරගත්, බුදුරදුන් ශ‍්‍රී ලංකාවේ භාරකාරත්වය පැවරූ දෙවියන් ලෙස, උපුල්වන් දෙවියන්ව අදහන ලදී. නමුත් පොළොන්නරු යුගයේදී, සිදු වූ සොලී ආක‍්‍රමණ මගින් එම ප‍්‍රදේශ හින්දූන් යටතට පත් විය. හින්දු ආගමිකයන් අදහන ලද්දේ විෂ්ණු දෙවියන්වය. උපුල්වන් දෙවියන්ගේ මෙන්ම, විෂ්ණු දෙවියන්ගේද ශරීරය නිල් පැහැතිය. වාහනය වූයේ ගුරුලාය. මේ අනුව, පසු කාලීනව උපුල්වන් දෙවියන් ලෙස පෙනීසිටින්නේ විෂ්ණු දෙවියන් වශයෙන් භාවිත කරන්නට විය. ඒ අනුව අද විෂ්ණු දෙවියන්ට බුදු රදුන් ලංකාව භාර දුන් බව පිළිගැනෙයි. 
එලෙස හින්දු, බෞද්ධ අපි, සංස්කෘතිකාංග වශයෙන් එකතු වූවා නම්, මගේ පේ‍්‍රමයට ආගම බාධාවක් කරගත් මම සැබෑ අනුවණකාරී පුද්ගලයෙක් නොවන්නේ ද? 
අදටත්, ඒකපාර්ශවික පේ‍්‍රමවන්තයෙකු වන මම, මටම දොස් පවරමින්, ගුඞ්ශේඞ් එකෙන් බසයෙන් බැස, ටොරින්ටන් එක හරහා පියමං කරමින්, වැව රවුම වෙත ළගා විය. පසුව, මම  දළදා වැඳ, වැල් බෝධියේ සෙවණ විඳ, විෂ්ණු දේවාලය හා පත්තිනි දේවාලය වැඳ අවසන, ඇසළ මහා පෙරහැර නැරඹීමට පේ වුනෙමි.

                                                   
                                                                                                                         අයි. ඒ සචිනි නිමල්කා 

4 comments: