නිමිත්ත- 21 හැවිරිදි තරුණයෙකුගේ ගෙල කපා ඝාතනය කිරීම
ළග සිටින මිත්‍රයා, ඔබේ මරණය කැඳවන බව, මොහොතකටවත් ඔබට සිතන්නට පුළුවන්ද? නමුත් එය එසේ සිදු විය. දිනය 2019/04/16, ස්ථානය ත්‍රිකුණාමලයේදී. සිදු වූයේ කුමක්ද යන්න මේ වන විටත් ඔබ හොදාකාරවම දන්නා බව මම විශ්වාස කරමි. එබැවින් සිද්ධිය, සවිස්තරාත්මකව මෙහි සදහන් කිරීමට, උත්සාහ නොගනිමි. නමුත් එය එසේ සිදු වූයේ ඇයි? වරද කාගේද? එයට හේතු සොයන්නට පෙර ඔබේ හෘද සාක්ෂියෙන්, ප්‍රශ්න කිහිපයක් අසමි.
- වයසේ වැරැද්ද ද?
- ඔවුන් අදහන ආගමේ වරද ද?
- පවතින සමාජ ක්‍රමයේ වරද ද?
- පවතින නීතියේ වරද ද?
වයස අවුරුදු 20ත් 22ත් අතර තරුණයන් දෙදෙනෙකි. එබැවින් ඔවුන්ගේ තාරුණ්‍යයේ ජවය, තරුණ මදය පිළිබදව ඇතැමෙක් මැසැවිලි නඟයි. එම කතාවෙහි ඇත්තක් නැතුවාම නොවේ. ආදරය යනු, ඉතා පිවිතුරු, නිකැළැල් දෙයක් බව තාරුණ්‍ය තදින් විශ්වාස කරයි. එහි වරදක් නැත. එසේනම් වරද කුමක්ද? ආදරය තුළ ඇත්තේ, හිමිවීම් පමණක්ම ද? ආදරය තුළ, අහිමිවීම් තිබිය නොහැකි ද? ආදරය තුළ පරිත්‍යාගය තිබිය නොහැකි ද? බැඳීම් යනු, අහිමිවිය නොහැකි දෙයක් ද? අවශ්‍ය වන්නේ, සිතුවිලි තුළ, ඔබ වෙනස් වීමයි.
ආගම යනු කුමක්ද? ආගම් තුළ පවතින්නේ කුමක්ද? කිසිදු ආගමක, අනෙකාට වෛර කිරීමට උගන්වනවාද? කිසිදු ආගමක ස්ථිර වූ, නොමැරෙන ජිවිතයක් ගැන උගන්වනවාද? ඒ සියල්ල, කෙසේ වෙතත්, ආගමෙන් ආගමට, මිනිසුන්ගේ හැගීම්, දැනෙන ප්‍රමාණය වෙනස් වෙනවා ද? උදහරණයක් ලෙස, වේදනාව යන දැනීම ගමු. එය ඔබෙන් මට හා මගෙන් ඔබට දැනෙන ආකාරය වෙනස් වෙනවාද? ඔව්, පැහැදිලිවම වෙනස් වෙනවා. එය ඔබේ අවබෝධයේ මට්ටම අනුව වෙනස් වෙනවා. එහෙත්, සැමටම, වේදනාව ආදී වූ සියලු දැනීම්, දැනෙන බව ඔබ අමතක කළ යුතු නැත.
පවතින සමාජ ක්‍රමය වැරදි ද? සියලු මිනිසුන්, සියලු වැරදි, සමාජයට පැවරීම කොතෙක් දුරට සාධාරණ ද? සමාජය නිර්මාණය වන්නේ, මිනිසුන්ගෙන්ම නොවේද? එසේනම් අවශ්‍ය වන්නේ, කුමක්ද? මිනිසා වෙනස්වීම නොවේ ද?
පවතින නීතිය වැරදිද? තරුණයා ජීවිතය යදිමින්, මිනිසුන් අතර දෝලනය වන්නේ, පවතින නීතියට බිය වී නොවේද? " මම, මොහුව දැන් රෝහලට රැගෙන ගියොත්, මෙහි වරදකරු ලෙස, නීතිය මාව පත් කරනවා" ලෙස සිතීම තුළ, ඔවුන්, මනුෂ්‍යත්වය පසෙකට තැබුවා නොවේද? තරුණයා, ත්‍රී රෝද රථයකින් රෝහලට රැගෙන ගියා නම්, පවතින නීතිය අනුව, ත්‍රී රෝද රථ රියදුරු අපහසුතාවයට පත් වන්නේ නැද්ද? cctv මගින් ලද දර්ශන මගින්, ත්‍රී රෝද රථ රියදුරු, නිවැරදිකරුවෙකු ලෙස, දෘශ්‍යමාන වනවා නේද, යනුවෙන් ඔබ මගෙන් ප්‍රශ්න නැගීමට පුළුවන. නමුත්, ත්‍රී රෝද රථ රියදුරු cctv කැමරා තිබෙන බව නොදන්නවා විය හැක. එසේත් නැත්නම්, එය ඔහුට අමතක වූවා විය හැක. එබැවින්, මනුෂ්‍යත්වය ක්‍රියාත්මක වීමට, පවතින නීතිය බාධාවක් වූවා නොවේද? කෙසේවෙතත්, නීතිය මෙහෙයවන්නේ ද, මිනිසුන්මය.
සිදු වූ දෙය සිදු වී අවසානය. එසේනම් දැන් කුමක් විය යුතුද? අවශ්‍ය වන්නේ, නැවත එවැනි සිදුවීම් නොවීමට මාර්ගය සැකසීම නොවේද? එය සදහා අප සැම කුමක් කළ යුතුද??????
අවශ්‍ය වන්නේ, සිතුවිලි වෙනස්වීමයි. අප සැම ජිවත් වෙන්නේ, සිතුවිලි තුළින් මවාගත් ලෝකයක බව, කිසිදු දවසක ඔබ සිතා තිබේද? ඔබ මවාගත් ලෝකයෙන් මිඳීමට උත්සාහ ගනු වෙනුවට, ඒ ලෝකයේම හිඳ, සිතුවිලි සමඟ ඔබ තරග කිරීම නිෂ්ඵල ක්‍රියාවක් නොවේද?
හිමිවීම්, අහිමිවීම් සියල්ල සෑම මනුෂ්‍යයාටම පොදු වේ. මේ ලෝකයේ සියල්ල, අප සැම සිතන අයුරින්ම සිදු වන්නේ නැත. අප සිතන දේ ඒ අයුරින්ම ලැබෙන විට, ඒ පිළිබද මහත් සතුටු වී, අප සිතෙන දේ නොලැබෙන විට, ඔබ දුක් වන්නේ ඇයි? කෝප වන්නේ ඇයි? මේ සියල්ල ලෝක ධර්මතාවය යැයි, ඔබට නොසිතෙන්නේ ඇයි? සියල්ල, ලැබීම, නොලැබීම මත තීරණය නොකර, එය ලෝක ධර්මතාවය ලෙස, ඔබට අවබෝධයෙන් ඒ දෙස බැලිය හැකි නම්, සමාජය තුළ, ගැටුම් ඇති විය හැකිද?
ප්‍රථමයෙන්, ඔබ වෙනස් වෙන්න. සිතුවිලි අතින් ඔබ වෙනස් වෙන්න. අවබෝධයෙන් ජීවිතය දෙස බලන්න.
එවිට, ඔබ සමග මුළු මහත් සමාජයම වෙනස් වෙයි. එවැනි සමාජයක් තුළ, ගැටුම් ඇති විය හැකිද? පිළිතුරු සියල්ල ඔබ සතුයි.
අයි.ඒ සචිනි නිමල්කා
No comments:
Post a Comment