ආදරය කියලා කියන්නේ, මහා පුදුමාකාර දෙයක්. කෙනෙකුට ආදරය විඳින අත්දැකීමක් වෙද්දී, තවත් කෙනෙකුට ආදරය කියන්නේ, විඳවන අත්දැකීමක්. ආදරය අහිමි වූ තැන විරහව උපදී. එකී විරහවත්, විඳවන්නේ නැතිව, විිිිඳින්න පුළුවන් ගීත වර්තමානයේ ඔබේ සවනේ රැදෙනවද? පිළිතුර ඔබ සතුයි.
ඩිෂාන් නානායක්කාර විසින් පදරචනය කරන ලද, කරුණාරත්න විජේරත්නයන්ගේ සංගීතය මුසු වූ, සුනිල් එදිරිසිංහ ලයාන්විත හඬ පෞරුෂය මත ගැයෙන මෙකී ගීතය ඔබ අසා තිබේද?
"එපා යළි හමුවන්න ජීවිතේ ගමන් මඟ
ඔබෙන් මට උරුම වූ වේදනා කදුළු ගඟ
හිරු සිනාසෙන ලොවක
පැතුම් මල් දෙවැට ළග
ඔබේ ජීවන සුවඳ අරන් ඈතට යන්න..."
සිතට දුකක් එකතු කළ අයෙක්, නැවත ඔබගේ නෙතට හමුවීම කෙතරම් ඔබව අපහසුතාවයට පත් කරයිද? අතීතයේ වූ සියලු මතකයන්, එවිට ඔබට ආවර්ජනය නොවන්නේද? අපි කවුරුත් අතීතය නැවත අනාගතය වෙත රැගෙන යාමට කැමති නැත. එබැවින් මෙම පෙම්වතාගේ ප්‍රාර්ථනය සාධාරණීකරණය කළ හැකිය. ඇගෙන් උරුම වූයේ කදුළු ගඟක් නම්, ඇය නැවත හමු වුවහොත්, එම කදුළු ගඟ පිටාර ගලා යන්නේ නොවේද? අදුරු වී තිබු ලොවක, නැවත හිරු පායා ඇත්නම්, ඒ තුළ නැවුම් ප්‍රර්ථනා පූදින්නට ඉඩ දී, ඇය ඔහුගේ මතකයෙන් වුව, ඉවත්ව යා යුතු නොවේද?
"සංසාර ගමන්මග සෙනෙහස සොයා දිනෙක
"ඔබ මවෙත තිළිණ කළ ඔබේ බැතිබර සුවඳ
"සංසාර ගමන්මග සෙනෙහස සොයා දිනෙක
ආ ගමන නිමා කළ ඔබේ හදවත ගාව
සෙනෙහසේ අවසාන කදුළු බිදුවක පහස
ගලා යයි අතීතේ මිය ඇදුණු සොහොන ළග"
සෙනෙහස, ආදරය වෙනුවෙන් ඔහු අවසාන කදුළු බිඳුව හෙළුවේ ඇය වෙනුවෙනි. ඔහුගේ නැති වී ගිය ආදරය, සොහොනක් ලෙස දැනෙන්නට තරම්, ඔහු ඇයට කෙතරම් ආදරය කළ තිබේ දැයි, විටෙක, මට සිතෙයි. එහෙත්, ඇයගේ වෙන්වීමත් සමඟ සංසාර ගමනේ, ඔහු සෙනෙහස සොයා පැමිණි මඟ, අවසන් කළ බව මෙහි දැක්වේ. එනම්, ඔහුගේ අවසන් ආදරය හිමිවන්නේ, ඇයටයි. අපි සංසාරයෙන් සංසාරය ගමන් කරන්නේ, විවිධ වූ බැදීම් ඇති කරගනිමිනි. එකී බැදීම් නැති කළ තැනක, ඔබට සංසාර ගමන නිමා කළ හැක. නමුත් එම අත්හැරීම අවබෝධයෙන් කළ යුතුය. නමුත්, මොහු ඇයව අත් හැරීමට උත්සාහ කිරීම තුළ ම, ඇය නැවත ජීවිතයට සමීප වීමක් සිදු නොවේද?
"ඔබ මවෙත තිළිණ කළ ඔබේ බැතිබර සුවඳ
මගේ මතකය වසා සදාකල් රැදෙනු ඇත
සංසාරයේ යළිදු නවාතැන් සොයා යන
මගේ මළගම දාට ඇවිත් යන්නට එන්න..."
ගීතයේ ආරම්භය තුළදී, ඔහු ඇයට මතකයෙන් ඈත්ව යන ලෙස ඉල්ලීම් කරයි. එහි දෙවෙනි ඛණ්ඩය තුළදී, ඔහු, සෙනෙහසේ අවසන් කදුළු බිදුව ඇය වෙනුවෙන් හෙළු බව කියයි. එය අවසන් කදුළු බිදුව නම්, නැවත ඇය තුළින්, තවත් දේ බලාපොරොත්තු විය හැකිද? නමුත් ඔහු අවසානයේ ඇයට කියන්නේ, ඇගේ මතකය ඔහු තුළ, සදාකල් තිබෙන බවයි. එසේම, මුලින් වේදනා කදුළු ගඟක් ලෙස අර්ථ දැක් වූ ආදරය පසුව, ඔහු බැතිබර සුවඳක් ලෙස අර්ථ දක්වයි. ආදරය එලෙසය. බැදීම් එලෙසය. විටෙක ප්‍රතික්ෂේප කිරීමට, අමතක කිරීමට උත්සාහ ගත්තද, නැවත ක්ෂණයෙන් ඒ බැදීම් තමා තුළ තදින් බැඳ ගනියි. ඔහුගේ ප්‍රාණය නිරුද්ධ සිරුර හෝ බැලීමට පැමිණෙන ලෙස, ඔහු ඇය වෙත ඉල්ලීම් කරන්නේ එහෙයිනි.
විරහව වුව, ගීතයෙන් ඇසෙන විට, එහි විඳවීමට එහා ගිය විඳීමක් ඇත. එහි අපූර්වත්වය අත්විදින්න, දෑස් වසා, හිත අවදි කොට, මෙම ගීතය අසා බලන්න.
අයි.ඒ සචිනි නිමල්කා
No comments:
Post a Comment