Wednesday, April 10, 2019

වස්තුව ඉල්ලන කාශ්‍යප පුතුණේ...



"වස්තුව ඉල්ලන කාශ්‍යප පුතුණේ” නම් ගීතය, රචනා කරන ලද්දේ, නෝබට් තලම්මැහැර ශුරීන් විසිනි. මෙම ගීතය ගායනා කරනු ලබන්නේ, ඇන්ටන් රොද්‍රිගෝ ශුරීන් විසිනි. මෙය මහාවංශයේ හමුවන, පළමු පීතෘ ඝාතක රජු වන, කාශ්‍යප රජු වටා ගෙතුණු ගීතයකි. මෙම කතා වස්තුව හමුවන්නේ, මහාවංශයේ, 38 වන පරිච්ඡේදය තුළ ය. නෝබට් තලම්මැහැරයන් මෙම ගීතය රචනා කරනු ලබන්නේ, කාශ්‍යප රජතුමන්ගේ පියාගේ දෘෂ්ඨියෙනි. එනම්, මෙරට සශ්‍රික කිරීම උදෙසා කලා වැව දායාද කළ, ධාතුසේන රජතුමන්ගේ, අදහස් සමුදායක් ලෙස ය.         

ඉතිහාසයේ සදහන්, මෙම ශෝකීය කතා වස්තුව නොදත්, පුද්ගලයෙකුට වුව, තේරුම් ගැනීමට පහසු වන පරිදි, මහා දුක් ගංගාවක්, ගීතයෙහි සරල පද වැල් අතර ගලා හරින්නට තරම් රචකයා දක්ෂ වී ඇත. මෙම ගීතයට පාදක වූ, එකී කතා වස්තුව පහතින්, කෙටියෙන්, දැක්වීමට කැමැත්තෙමි.

    ධාතුසේන රජතුමන්ට මුගලන් හා කාශ්‍යප ලෙස පුතුන් දෙදෙනෙකු හා එක් රූමත් දියණියක සිටින ලදි. මුගලන් යනු, අඟ බිසවගේ පුතණුවන් වන නිසාවෙන්, ධාතුසේන රජුගෙන් පසු, රජකම හිමිවීමට තිබුනේ, ඔහුටය. නමුත්, අන් පුදගලයින්ගේ බස් වලට රැවටී, රාජ්‍ය පැහැර ගැනීමට, කාශ්‍යප කුමරු කටයුතු කළේය. එබැවින්, මුගලන් කුමාරයා දකුණු ඉන්දියාවට පැන ගියේය. පසුව බල ලෝභීත්වය මුදුන්පත් කරගත් කාශ්‍යප රජතුමා, ධන ලෝභීත්වය සංසිදවා ගැනීමට, පරම්පරාවෙන් ලද වස්තුව, ධාතුසේන රජුගෙන් ඉල්ලයි. පසුව, වස්තුව ලබා දීමට කලා වැව සමීපයට පැමිණෙන ලෙස, ධාතුසේන රජතුමන්, තම පුතුට ආරාධනා කරයි. ඉන් අනතුරුව, ධාතුසේන රජතුමා, තමන් උපයා ගත් එකම වස්තුව, කලා වැව බව, කාශ්‍යප රජුට පවසයි. ඉන් දැඩි කෝපයට පත් කාශ්‍යප රජු, ධාතුසේන රජතුමන්ව, කලා වැව් බැම්මෙහි තබා, පස් ගසා, මැරීමට නියෝග කරයි. 
  
එකී ලෝක ධාතුවම කම්පා කල, පීතෘ ඝාතක කතා වස්තුව, නෝබට් තලම්මැහැර ශුරින්, සරල වචන යොදා, බොහොම සංයමයෙන්, ගීතයකට පන පොවා ඇත. එය ඇසෙන මොහොතකදී පවා, ශරීරය පුරාවට සැරිසරන්නේ, ධාතුසේන රජතුමන්ගේ, දුක්ඛ සමුදායයි.

     දරු සෙනෙහස යනු, වචනයෙන් කියා නිම කළ නොහැකි, අපුර්ව හැගීම් සමුදායකි. දරුවෙකු ලද මවක්, පියෙක්, තම දරුවා සුරතට ගත් පළමු මොහොතේ පටන් පසුවන්නේ, රටක් රාජ්‍යක් ලද හැඟීමෙනි. ධාතුසේන රජතුමා ද, රජෙක් වුව ද, පියෙකි. තම පුතුන් දෙදෙනාට හා දුවණිට සෙනෙහෙ කළ පියෙකි. නෝබට් තලම්මැහැරයන් මෙම ගීතයේ, මුල් පද පේළිය පූර්ණය කරනුයේ, එකී පීතෘත්වයේ ආදරණිය ආමන්ත්‍රණයක් ලෙසය.

  "වස්තුව ඉල්ලන කාශ්‍යප පුතුණේ
    ඇයි හදවත රිදවන්නේ 
    ඇස් දෙක වාගෙයි මුගලන් සහ නුඹ  
    පිය රජු සෙවණේ වුන්නේ ”

ධාතුසේන රජතුමන් හට, තම පුතුන් දෙදෙනා ම දෑස් දෙක මෙන් ය. ඕනෑම පුද්ගලයෙක්ට, දෑස් යනු, වටිනම වස්තුවකි. නේත්‍ර යුගලයකින් තොරව, ලෝකය දැක ගත නොහැක. දෑස් අහිමි වූ කළ, ජීවිතය වුවද, කළකිරෙන තත්ත්වයට පත් වේ. එසේම ඇස් දෙකම, එක හා සමාන වටිනාකමකින් යුක්තය. ඇස් එකකින් ලෝකය දෙස බලනු වෙනුවට, දෑසින් ම ලෝකය දෙස බැලීමට, අප අපේක්ෂා කරනුයේ, එහෙයිනි. එබැවින් මෙම ගීතයෙහි, මුගලන් හා කාශ්‍යප දෙදෙනාම, ධාතුසේන රජතුමන්ගේ දෑසට, රචකයා විසින් සමාන කිරීම, උචිත බැව් මා හැඟි අදහසයි. මන්ද, ඕනෑම පිය කෙනෙකු, තම දරුවනට එක හා සමානව ආදරය කරයි. එසේම, තම දරුවන් බොහෝ සෙයින් ආරක්ෂා කරයි. ධාතුසේන රජතුමන්, තම පුතුන් දෙදෙනාට පවතින අසීමිත වූ ස්නේහයේ ආමන්ත්‍රණය මෙම ගීතයේ ආරම්භය තුළ නෝබට් තලම්මැහැරයන් සටහන් තබා ඇත.

    මෙම ගීතයේ දෙවන ඛාණ්ඩය තුළ, ධාතුසේන රජතුමන්, කලා වැව නිර්මාණය කිරීම තුළ විඳින්නා වූ, සැනසීම, අභිමානය, රචකයා විසින් පද වැල් අතර ගොනු කර ඇත. ජනතාවගේ පාලකයෙකු, ජනතාව වෙනුවෙන් සිදු කළ යුතුකම් කොටස වෙනුවෙන්, හඳවතින් ම තුටු වන බව මෙන් ම, ජනතාව වෙනුවෙන් යුතුකම් ඉටු කළ පාලකයෙකුට,  හඳවතින් ම තුටු විය හැකි බව, මෙම ගීතය තුළ, වක්‍රෝක්තියෙන් යුතුව, නෝබට් තලම්මැහැර ශුරීන් සටහන් තබා ඇති බව, සිතුව මනාය.   

තම පුතු, උපයා ගත් වස්තුව රජුගෙන් ඉල්ලන විට, ධාතුසේන රජුන් ට ඇති, වස්තුව කලා වැව බව, පැවසීමට තරම්, එම රජු, රටට, හා තම වැසියන්ට, යුතුකම් ඉෂ්ට කර ඇත. එම සිදුවීම චිත්ත රූප මැවෙන අයුරින් ගීතය තුළ, ජනිත කිරීමට නෝබට් තලම්මැහැර ශුරීන් සමත්ව ඇත.                                             
                                         
      "බලන්න දෙටු පුත මේ දිය තලයම 
        කෙත්වතු සාර කරන්නේ 
        මට ඇති සම්පත මට ඇති වස්තුව 
        මේ නිල් දියකඳ වන්නේ  ”
   
මෙම ගීතයේ පිය පාර්ශවයේ අධ්‍යාත්මික විවරණයකි. වත්මන් සමාජයේ වුවද, පිය පදවියට නිග්‍රහ කරන්නා වූ දරුවෝ සිටිති. එසේම තම දරුවන්ගේ දුක්ඛ දෝමනස්සයන් විඳගෙන, දරුවන්ට යහපතම ප්‍රර්ථනා කරන, මවුවරුන් ද, පියවරුන් ද, අද සමාජයේ බහුල ලෙස සිටිති. නමුත්, තමන්ට නොසළකන දරුවන් අභිමුව හිඳ, සෑම පියෙකුම, මවකම, තමන්ගේ චිත්ත සන්තානයෙන් දහසකුත් ප්‍රශ්න අසමින් ඇත. මා විසින් ඇති දැඩි කළ මා පුතු, මට එරෙහිව, ශක්තිය යොදවන්නේ, කෙසේද යන්න, ඒ දහසකුත් ප්‍රශ්ණ අතර, තිබෙන්නට පුළුවන. ධාතුසේන රජතුමන් ද, තම පුතු, තමන්ට එරෙහිව නැගී සිටින විට, හඳවතින් ම, හඬාවැටෙන්නට ඇත.        නමුත් ඔහු, මරණයට බිය නැත. මන්ද, ඔහු කලා වැව නිර්මාණය කිරීමෙන් ලද, ආත්ම තෘප්තිය, ආත්ම සැනසීම, මරණය අතික්‍රමණය කර ඇත. තම පුතු නියම කළ මරණය කෙතරම් බියකරු වුවත්, එම මරණය කලා වැව් ඉසම්ත්තේ වැළඳගැනීමට, අවසන ඔහු ඉල්ලීම් කරනුයේ, එහෙයිනි.

  "සිටුවා පස් ගස්වා මා මැරුමට
    කවුරුද පුතු සිත බින්දේ 
    මා මළ පසු පුත මිහිදන් කළ මැන 
    කලා වැවේ වැව් කන්දේ ”

 මරණය අභියස වුව, ධාතුසේන රජු තුළ, ශ්‍රද්ධාව පලා නොගිය බව, දැනවීමට, මෙහි අවසාන පද පෙළ තුළින්, රචකයා සමත් වී ඇති බව පෙනේ.

                                            "මගේ කලා වැව සඳා රකිනු මැන
                                              අවුකන පිළිම සමින්දේ ”

මෙම ගීතය පුරාවටම නොබ්ට් තලම්මැහැර ශුරීන්, සරල වචන යොදා, ශ්‍රාවකයාට ගීතය බොහොම සමීප කර ඇත. එසේම උචිත පරිදි උපමා යොදා ගෙන ඇත.

                                           උදා - ඇස් දෙක වාගෙයි මුගලන් සහ නුඹ

එසේම චිත්ත රූප මැවෙන බස් වහරක් යොදා ගීතය පුරාවට, ශෝකී ගංඟාවක් ගලා හරින්නට, රචකයා සමත් වී ඇති බැව් පෙනෙයි. කෙසේවෙතත්, ඉතිහාසය අමතක කර, අනාගත සුභසිද්ධිය ම  පතන, මිනිසුන් සිටින සමාජයක, ගීතයෙන් වුව, ඉතිහාසය විඳීමට සැලැස්වීම පිළිබදව, නෝබට් තලම්මැහැර ශූරීන්ට, වත්මන් සමාජය කෘතඥපූර්වක විය යුතමුය.
  විවේකයක් ලද මොහොතක, අනුරාධපුර රාජධානියේ, කලා වැව් ඉස්මත්තේ, ඔබ හිඳින විටෙක, වචනයෙන් විස්තර කළ නොහැකිව, ඔබට දැනෙන්නා වූ හැඟීම් සමුදාය, නෝබට් තලම්මැහැරයන්ගේ මෙම ගීතයේ සාර්ථකභාවය, ඔබට පසක් කරන බව, මම විශ්වාස කරමි. මන්ද, කලා වැව් ඉස්මත්තේ සිට හඹා එන සුළං රැළි මත, මා හට ඇසෙනුයේ, නෝබට් තලම්මැහැර ශූරීනගේ තෙළි තුඩින් සටහන් තැබූ, මෙකී ශෝකාලාපයයි.


                                                                        අයි.ඒ. සචිනි නිමල්කා 

4 comments:

  1. Replies
    1. ආදරණිය සචිනි, පළමුව මගේ හෘදයාංගම ස්තුතිය ඔබට පුදමි! නොමැරෙන මිනිසුන් ලෙස කිසිම දෙයක් බෙදා ගෙන ජිවත් නොවෙනා මිනිසුන් අතර ඔබ උතුම්ම මානවිකාවිකි.රසික අපේ කියවීමේ රුචිය ඇති කරමින් මේ ගීතයට ඔබෙන් ලැබුන රසවින්දනය මනරම්....අතිවිශිෂටයි..මම මගේ ගී පිටුව වන " ස්වර වර්ණ ගී මිහිර " සියලු රසික රසිකාවියන් ගේ රසාස්වාදය වෙනුවෙන් යොමු කළා....ඔබ හයහතර තේරෙන වයසේ උගත් ශිල්පය ප්‍රගුණ කරමින් ඉතාම සාර්ථක ඓතිහාසික කලා කෘතියක් නිර්මාණය කළා සේ මට හැගේ.....ඉතාම සුන්දර, සංවේදීම ගීතයක් ඔබ ඔපවත් කළා..චුටිම මට නොපෙනේන්වද මා නොදනිමි...අනේ සංගීතය සොයමි මා තවමත්.....ඉතින් ඔබේ ලිවීමේ කලාව තව තවත් දියුණුම වී මට ආයෙත් ඔබේ ලිපියක් කියවීමේ වාසනාව උදාවේවායි පතමි! තෙරුවන් සරණයි!!!

      Delete
  2. Nice creation I wish you all the best

    ReplyDelete