Thursday, April 25, 2019

සිරිමහ බෝ මුල මතු දින බුදු වෙනු අම්මේ



මාතෘත්වය පිළිබද, ලාංකීය ගීත සාහිත්‍යය තුළ, බොහෝ ගීත ලියැවී ඇත. මාතෘත්වය යනු, උත්තරීතර පදවියකි. අම්මා කෙනෙකු දරුවන් වෙනුවෙන්, අසීමිත කැපකිරීම් සිදු කරයි. රජ මැදුරක ජීවත් වුවත්, කුඩා පැල්පතක ජීවත් වුවත්, අම්මා යනු, අමිල වස්තුවකි. එකී මාතෘත්වය පිළිබද, ප්‍රේම කීර්ති ද අල්විස් ශුරීන් පද රචනය කළ, වී. හේමපාල පෙරේරා ශුරීන්ගේ සංගීතයෙන් හැඩ වූ, සුජාතා අත්තනායක නම් ගායන ශිල්පිනියගේ ලයාන්විත හඬ පෞරුෂය මත ගැයෙන, මෙකී අපූර්ව ගීතය ඔබ අසා තිබේද?

                                          

 "දුනුකෙයියා මලක් වගේ දුරට පේනවා

   වැටකෙයියා මලක් වගේ සුවඳ හමනවා

   පසළොස්වක සඳ වාගේ එළිය ගෙනෙනවා

   මගේ අම්මා මට ජීවන සුවය සදනවා"


ඔබ කුසට පැමිණි දා සිට, ආදරණීය අම්මා, ඔබ වෙනුවෙන් දහසකුත් ප්‍රාර්ථනා පොදි බදියි. ඒ වගේම, ඔබ මෙලොවට බිහි වුන දවසේ සිට, මේ වන තෙක්, (ඔබ කොපමණ වයසක පසුවන අයෙක් වුවත්) ඔබේ අම්මා, තවමත් ඔබව අත් නොහැර ඔබේ සුඛ විහරණය ම, ප්‍රාර්ථනා කරයි. නමුත් වර්තමානයේ බොහෝ දරුවන්ට, අම්මගේ ආදරය, සෙනෙහස අමතකව ගිය අවස්ථා ඕනෑ තරම් දෘශ්‍යමාන වේ. කිසිදු දවසක, අම්මා ඔබව, අතහැර නොගියා නම්, ඔබේ සුරක්ෂිතතාවය වෙනුවෙන් කැපවූවා නම්, එකී මාතෘත්වය වෙනුවෙන්, ඔබ යුතුකම් ඉටු කළ යුතු නොවේද? ඔබේ ජීවිතයේ සුවය නිර්මාණය කළේ, ඔබේ අම්මා බව ඔබ අමතක කළ යුතු නැත. ඔබේ ජීවිතය අඳුරට යාමට ඉඩ නොදී, ඔබේ ජිවන ගමන එළි පෙහෙළි කළ අම්මාට, ඔබ කෘතඥපූර්වක විය යුතු නොවේද?

       "සංසාරෙන් සංසාරෙට එකට ආ බැඳී

         කෙනෙක් නොමැත දරුවෙක් හට මවක් සේ ලැදී

         අම්මා යන සමාධියට සිටිමි සම වැදී

         ඔබෙ ගුණ කීමට හෝඩියේ අකුරු මට මදී"


අම්මා, තමන්ගේ දරුවන්ගේ සුඛ විහරණයම ප්‍රාර්ථනා කරයි. දරුවෙක්ගේ දුකක් අභිමුව මවක් හදවතින්ම හඬා වැටෙයි. එසේම, දරුවෙක්ගේ ජයග්‍රහණ දැක, මවක් හදවතින්ම සතුටු වෙයි. අම්මා කෙනෙකු තරම් දරුවෙක්ට සමීප තවත් අයෙක් සිටියිද? ඔව්, තාත්තාත් අම්මා සේම, දරුවන්ගේ යහපත ප්‍රාර්ථනා කරයි. එහෙත්, නිරන්තරයෙන් දරුවන් අසළ රැදී හිඳ, අසීමිත දරු ස්නේහය වපුරවන්නේ, ආදරණීය අම්මාය. නමුත්, නිරන්තයෙන් ළග නොසිටියත්, තාත්තාගේ ආදරණීය ආශීර්වාදය ඔබ කෙරෙහි ඇති බව අමතක නොකළ යුතුය.
ඔබ අද නගරයක ජීවත් වන්නට පුළුවන. ඒ වගේම අම්මා ගමෙහි සිට ඔබ එනතුරු බලා සිටිනවා විය හැක. ඔබ අනේක වීඳ ගැටළු සිත්හි තබා ගෙන නගරයෙන්, ගම වෙත පියමං කළ දිනෙක, මවගේ රුව දුටු වනම හිතට දැනෙන සහනය, සැනසිල්ල, ඔබට වචනයට නැගිය හැකිද?

         "සිවු බුදුවරු දුටු ලෙස එක දින එක පිම්මේ

           ඔබ දුටුවම මගෙ දුක් ගිනි නිවෙනවා අම්මේ

           සක්විති රජවරුනගෙ දන ඔබ ළග නැම්මේ

           සිරිමහ බෝ මුල මතු දින බුදු වෙනු අම්මේ "


මහා භද්‍ර කල්පයක් තුළ, පහළ වන්නේ, බුදුවරු පස් නමක් පමණි. මෙකී භද්‍ර කල්පය තුළ, දැනට පහළව ඇත්තේ, ගෞතම බුදුන්, කකුසඳ බුදුන්, කෝණාගම බුදුන් හා කාශ්‍යප බුදුන් වේ. එම බුදුන් වහන්සේලා, සිවු බුදුවරු ලෙස, අර්ථ ගැන්වේ. මහා භද්‍ර කල්පයක් තුළ හමුවන, සිවු බුදුවරු එක දිනෙක දැකිය හැකිනම්, එය කෙතරම් සැනසිලිදායක මොහොතක්ද? අම්මා දැකීම, එවැනි භක්ති වන්දනීය මොහොතක් ලෙස දැක්වීම කෙතරම් අර්ථපූර්ණ නොවන්නේද? ඔබ මොනයම් නිළතල දරන්නෙක් වුවද, අම්මාගේ දෙපා වන්දනීය වන්නේ ඒ නිසාමයි.
           දරුවන් වෙනුවෙන් අසීමිත ස්නේහය පතුරුවන, ආදරණීය ඔබ, සිරිමහ බෝ මුල මතු දින බුදු වෙනු අම්මේ!!! එය සියලු දරුවන්ගේ ප්‍රාර්ථනාවයි.


                                                                           අයි.ඒ. සචිනි නිමල්කා                                       
    
                                         
                                            

Thursday, April 18, 2019

අවබෝධයෙන් ජීවිතය දෙස බලන්න



නිමිත්ත- 21 හැවිරිදි තරුණයෙකුගේ ගෙල කපා ඝාතනය කිරීම 

ළග සිටින මිත්‍රයා, ඔබේ මරණය කැඳවන බව, මොහොතකටවත් ඔබට සිතන්නට පුළුවන්ද? නමුත් එය එසේ සිදු විය. දිනය 2019/04/16, ස්ථානය ත්‍රිකුණාමලයේදී. සිදු වූයේ කුමක්ද යන්න මේ වන විටත් ඔබ හොදාකාරවම දන්නා බව මම විශ්වාස කරමි. එබැවින් සිද්ධිය, සවිස්තරාත්මකව මෙහි සදහන් කිරීමට, උත්සාහ නොගනිමි. නමුත් එය එසේ සිදු වූයේ ඇයි? වරද කාගේද? එයට හේතු සොයන්නට පෙර ඔබේ හෘද සාක්ෂියෙන්, ප්‍රශ්න කිහිපයක් අසමි.
  • වයසේ වැරැද්ද ද?
  • ඔවුන් අදහන ආගමේ වරද ද?
  • පවතින සමාජ ක්‍රමයේ වරද ද?
  • පවතින නීතියේ වරද ද?
වයස අවුරුදු 20ත් 22ත් අතර තරුණයන් දෙදෙනෙකි. එබැවින් ඔවුන්ගේ තාරුණ්‍යයේ ජවය, තරුණ මදය පිළිබදව ඇතැමෙක් මැසැවිලි  නඟයි. එම කතාවෙහි ඇත්තක් නැතුවාම නොවේ. ආදරය යනු, ඉතා පිවිතුරු, නිකැළැල් දෙයක් බව තාරුණ්‍ය තදින් විශ්වාස කරයි. එහි වරදක් නැත. එසේනම් වරද කුමක්ද? ආදරය තුළ ඇත්තේ, හිමිවීම් පමණක්ම ද? ආදරය තුළ, අහිමිවීම් තිබිය නොහැකි ද? ආදරය තුළ පරිත්‍යාගය තිබිය නොහැකි ද? බැඳීම් යනු, අහිමිවිය නොහැකි දෙයක් ද? අවශ්‍ය වන්නේ, සිතුවිලි තුළ, ඔබ වෙනස් වීමයි. 

ආගම යනු කුමක්ද? ආගම් තුළ පවතින්නේ කුමක්ද? කිසිදු ආගමක, අනෙකාට වෛර කිරීමට උගන්වනවාද? කිසිදු ආගමක ස්ථිර වූ, නොමැරෙන ජිවිතයක් ගැන උගන්වනවාද? ඒ සියල්ල, කෙසේ වෙතත්, ආගමෙන් ආගමට, මිනිසුන්ගේ හැගීම්, දැනෙන ප්‍රමාණය වෙනස් වෙනවා ද? උදහරණයක් ලෙස, වේදනාව යන දැනීම ගමු. එය ඔබෙන් මට හා මගෙන් ඔබට දැනෙන ආකාරය වෙනස් වෙනවාද? ඔව්, පැහැදිලිවම වෙනස් වෙනවා. එය ඔබේ අවබෝධයේ මට්ටම අනුව වෙනස් වෙනවා. එහෙත්, සැමටම, වේදනාව ආදී වූ සියලු දැනීම්, දැනෙන බව ඔබ අමතක කළ යුතු නැත. 

පවතින සමාජ ක්‍රමය වැරදි ද? සියලු මිනිසුන්, සියලු වැරදි, සමාජයට පැවරීම කොතෙක් දුරට සාධාරණ ද? සමාජය නිර්මාණය වන්නේ, මිනිසුන්ගෙන්ම නොවේද? එසේනම් අවශ්‍ය වන්නේ, කුමක්ද? මිනිසා වෙනස්වීම නොවේ ද? 

පවතින නීතිය වැරදිද? තරුණයා ජීවිතය යදිමින්, මිනිසුන් අතර දෝලනය වන්නේ, පවතින නීතියට බිය වී නොවේද? " මම, මොහුව දැන් රෝහලට රැගෙන ගියොත්, මෙහි වරදකරු ලෙස, නීතිය මාව පත් කරනවා" ලෙස සිතීම තුළ, ඔවුන්, මනුෂ්‍යත්වය පසෙකට තැබුවා නොවේද? තරුණයා, ත්‍රී රෝද රථයකින් රෝහලට රැගෙන ගියා නම්, පවතින නීතිය අනුව, ත්‍රී රෝද රථ රියදුරු අපහසුතාවයට පත් වන්නේ නැද්ද? cctv මගින් ලද දර්ශන මගින්, ත්‍රී රෝද රථ රියදුරු, නිවැරදිකරුවෙකු ලෙස, දෘශ්‍යමාන වනවා නේද, යනුවෙන් ඔබ මගෙන් ප්‍රශ්න නැගීමට පුළුවන. නමුත්, ත්‍රී රෝද රථ රියදුරු cctv කැමරා තිබෙන බව නොදන්නවා විය හැක. එසේත් නැත්නම්, එය ඔහුට අමතක වූවා විය හැක. එබැවින්, මනුෂ්‍යත්වය ක්‍රියාත්මක වීමට, පවතින නීතිය බාධාවක් වූවා නොවේද? කෙසේවෙතත්,  නීතිය මෙහෙයවන්නේ ද, මිනිසුන්මය. 

සිදු වූ දෙය සිදු වී අවසානය. එසේනම් දැන් කුමක් විය යුතුද? අවශ්‍ය වන්නේ, නැවත එවැනි සිදුවීම් නොවීමට මාර්ගය සැකසීම නොවේද? එය සදහා අප සැම කුමක් කළ යුතුද??????

අවශ්‍ය වන්නේ, සිතුවිලි වෙනස්වීමයි. අප සැම ජිවත් වෙන්නේ, සිතුවිලි තුළින් මවාගත් ලෝකයක බව, කිසිදු දවසක ඔබ සිතා තිබේද? ඔබ මවාගත් ලෝකයෙන් මිඳීමට උත්සාහ ගනු වෙනුවට, ඒ ලෝකයේම හිඳ, සිතුවිලි සමඟ ඔබ තරග කිරීම නිෂ්ඵල ක්‍රියාවක් නොවේද?

හිමිවීම්, අහිමිවීම් සියල්ල සෑම මනුෂ්‍යයාටම පොදු වේ. මේ ලෝකයේ සියල්ල, අප සැම සිතන අයුරින්ම සිදු වන්නේ නැත. අප සිතන දේ ඒ අයුරින්ම ලැබෙන විට, ඒ පිළිබද මහත් සතුටු වී, අප සිතෙන දේ නොලැබෙන විට, ඔබ දුක් වන්නේ ඇයි? කෝප වන්නේ ඇයි? මේ සියල්ල ලෝක ධර්මතාවය යැයි, ඔබට නොසිතෙන්නේ ඇයි? සියල්ල, ලැබීම, නොලැබීම මත තීරණය නොකර, එය ලෝක ධර්මතාවය ලෙස, ඔබට අවබෝධයෙන් ඒ දෙස බැලිය හැකි  නම්, සමාජය තුළ, ගැටුම් ඇති විය හැකිද? 

ප්‍රථමයෙන්, ඔබ වෙනස් වෙන්න. සිතුවිලි අතින් ඔබ වෙනස් වෙන්න. අවබෝධයෙන් ජීවිතය දෙස බලන්න.
එවිට, ඔබ සමග මුළු මහත් සමාජයම වෙනස් වෙයි. එවැනි සමාජයක් තුළ, ගැටුම් ඇති විය හැකිද? පිළිතුරු සියල්ල ඔබ සතුයි. 
               

                                                                           අයි.ඒ සචිනි නිමල්කා

Wednesday, April 17, 2019

මගේ මළගම දාට ඇවිත් යන්නට එන්න


      


ආදරය කියලා කියන්නේ, මහා පුදුමාකාර දෙයක්. කෙනෙකුට ආදරය විඳින අත්දැකීමක් වෙද්දී, තවත් කෙනෙකුට ආදරය කියන්නේ, විඳවන අත්දැකීමක්. ආදරය අහිමි වූ තැන විරහව උපදී. එකී විරහවත්, විඳවන්නේ නැතිව, විිිිඳින්න පුළුවන් ගීත වර්තමානයේ ඔබේ සවනේ රැදෙනවද? පිළිතුර ඔබ සතුයි. 

ඩිෂාන් නානායක්කාර විසින් පදරචනය කරන ලද, කරුණාරත්න විජේරත්නයන්ගේ සංගීතය මුසු වූ, සුනිල් එදිරිසිංහ ලයාන්විත හඬ පෞරුෂය මත ගැයෙන මෙකී ගීතය ඔබ අසා තිබේද?

                                    "එපා යළි හමුවන්න ජීවිතේ ගමන් මඟ
                                      ඔබෙන් මට උරුම වූ වේදනා කදුළු ගඟ
                                      හිරු සිනාසෙන ලොවක
                                      පැතුම් මල් දෙවැට ළග
                                      ඔබේ ජීවන සුවඳ අරන් ඈතට යන්න..."


සිතට දුකක් එකතු කළ අයෙක්, නැවත ඔබගේ නෙතට හමුවීම කෙතරම් ඔබව අපහසුතාවයට පත් කරයිද? අතීතයේ වූ සියලු මතකයන්, එවිට ඔබට ආවර්ජනය නොවන්නේද? අපි කවුරුත් අතීතය නැවත අනාගතය වෙත රැගෙන යාමට කැමති නැත. එබැවින් මෙම පෙම්වතාගේ ප්‍රාර්ථනය සාධාරණීකරණය කළ හැකිය. ඇගෙන් උරුම වූයේ කදුළු ගඟක් නම්, ඇය නැවත හමු වුවහොත්, එම කදුළු ගඟ පිටාර ගලා යන්නේ නොවේද? අදුරු වී තිබු ලොවක, නැවත හිරු පායා ඇත්නම්, ඒ තුළ නැවුම් ප්‍රර්ථනා පූදින්නට ඉඩ දී, ඇය ඔහුගේ මතකයෙන් වුව, ඉවත්ව යා යුතු නොවේද?

                                  "සංසාර ගමන්මග සෙනෙහස සොයා දිනෙක
                                    ආ ගමන නිමා කළ ඔබේ හදවත ගාව
                                    සෙනෙහසේ අවසාන කදුළු බිදුවක පහස
                                    ගලා යයි අතීතේ මිය ඇදුණු සොහොන ළග"


සෙනෙහස, ආදරය වෙනුවෙන් ඔහු අවසාන කදුළු බිඳුව හෙළුවේ ඇය වෙනුවෙනි. ඔහුගේ නැති වී ගිය ආදරය, සොහොනක් ලෙස දැනෙන්නට තරම්, ඔහු ඇයට කෙතරම් ආදරය කළ තිබේ දැයි, විටෙක, මට සිතෙයි.  එහෙත්, ඇයගේ වෙන්වීමත් සමඟ සංසාර ගමනේ, ඔහු සෙනෙහස සොයා පැමිණි මඟ, අවසන් කළ බව මෙහි දැක්වේ. එනම්, ඔහුගේ අවසන් ආදරය හිමිවන්නේ, ඇයටයි. අපි සංසාරයෙන් සංසාරය ගමන් කරන්නේ, විවිධ වූ බැදීම් ඇති කරගනිමිනි. එකී බැදීම් නැති කළ තැනක, ඔබට සංසාර ගමන නිමා කළ හැක. නමුත් එම අත්හැරීම අවබෝධයෙන් කළ යුතුය. නමුත්, මොහු ඇයව අත් හැරීමට උත්සාහ කිරීම තුළ ම, ඇය නැවත ජීවිතයට සමීප වීමක් සිදු නොවේද? 


                                   "ඔබ මවෙත තිළිණ කළ ඔබේ බැතිබර සුවඳ
                                     මගේ මතකය වසා සදාකල් රැදෙනු ඇත
                                     සංසාරයේ යළිදු නවාතැන් සොයා යන
                                     මගේ මළගම දාට ඇවිත් යන්නට එන්න..."   


ගීතයේ ආරම්භය තුළදී, ඔහු ඇයට මතකයෙන් ඈත්ව යන ලෙස ඉල්ලීම් කරයි. එහි දෙවෙනි ඛණ්ඩය තුළදී, ඔහු, සෙනෙහසේ අවසන් කදුළු බිදුව ඇය වෙනුවෙන් හෙළු බව කියයි. එය අවසන් කදුළු බිදුව නම්, නැවත ඇය තුළින්, තවත් දේ බලාපොරොත්තු විය හැකිද? නමුත් ඔහු අවසානයේ ඇයට කියන්නේ, ඇගේ මතකය ඔහු තුළ, සදාකල් තිබෙන බවයි. එසේම, මුලින් වේදනා කදුළු ගඟක් ලෙස අර්ථ දැක් වූ ආදරය පසුව, ඔහු බැතිබර සුවඳක් ලෙස අර්ථ දක්වයි. ආදරය එලෙසය. බැදීම් එලෙසය. විටෙක ප්‍රතික්ෂේප කිරීමට, අමතක කිරීමට උත්සාහ ගත්තද, නැවත ක්ෂණයෙන් ඒ බැදීම් තමා තුළ තදින් බැඳ ගනියි. ඔහුගේ ප්‍රාණය නිරුද්ධ සිරුර හෝ බැලීමට පැමිණෙන ලෙස, ඔහු ඇය වෙත ඉල්ලීම් කරන්නේ එහෙයිනි. 
විරහව වුව, ගීතයෙන් ඇසෙන විට, එහි විඳවීමට එහා ගිය විඳීමක් ඇත.  එහි අපූර්වත්වය අත්විදින්න, දෑස් වසා, හිත අවදි කොට, මෙම ගීතය අසා බලන්න.



                                                                                අයි.ඒ සචිනි නිමල්කා

Tuesday, April 16, 2019

රාත්‍රිය වී නිහඬව නිසලව ඉන්නම්


කාන්තාවක් ජිවිතේ විවිධ අවඳීන් තුළ විවිධ භූමිකාවන් හොබවයි. දෙමාපියන් යටතේ, බොහොම ආදරයෙන් හැදී වැඩෙන ගැහැණු දරුවා, පසුව විවාහ ජීවිතයට අවතීර්ණ වීමත් සමග, ස්වාමියා සමග ජීවිතය බෙදා හදා ගැනීමට සිදුවේ. එහිදී බිරිදක, පසුව, මවක ලෙස ඇය සමාජය වෙත තම යුතුකම් ඉටු කරයි. එකී කාන්තාවට සමාජය තුළ, ගරුත්වයක් හිමිවිය යුතුද? නැද්ද? එම ප්‍රශ්නය ඔබගෙන් විමසන්නේ, පවුල වෙනුවෙන්, සමාජ සම්බන්ධතා වෙනුවෙන්, අවංකව කැපවෙන කාන්තාවන් වෙනුවෙන් ම  පමණක් බව සිහිකර යුතුමය.

දීපිකා ප්‍රියදර්ශනී නම් ගායිකාව, කාන්තාවගේ ජිවිතයේ එක් අසුන්දර පැතිකඩක් තම ගීතමය හඬින් විවරණය කරයි. බිරිදක් සිටින්නේ, ස්වාමියාගේ අවශ්‍යතා ඉටු කිරීමට පමණක්මද? ඇය ස්වාමියාගේ මෙහෙකාරිය ලෙස ජීවිතය ගෙවිය යුතුද? ඇයට ආදරය, රැකවරණය අවශ්‍ය නොවේද? සුරක්ෂිත ආදරයක් ලැබෙන, ස්වාමියෙකුගේ අභියස, ඇය බොහොම ආදරණීය බිරිදක් ලෙස, තම යුතුකම් නොපිරිහෙළා ඉටු නොකරාවිද? 

 
                                           "රාත්‍රිය වී නිහඬව නිසලව ඉන්නම්
                                             බියද දැනේ දුකද දැනේ 
                                             රුදුරු වුනේ ඇයි හිමි සඳුනේ"


විවාහයට පෙර, බොහොම ප්‍රියජනක  ප්‍රතිරූපයක් මවන ඔහු, විවාහයෙන් පසුව ඇයට විවිධ වඳ වේදනාවන් සිදු කරයි නම්, එලෙස ඇති වන්නා වූ බැඳීම් තුළ කිසිදු ඵලදායිතාවයක් නැත. කාන්තාවක් අවශ්‍ය රාත්‍රිය වර්ණවත් කිරීමට පමණක් යැයි සිතන පිරිමින්ට, විවාහය සඳහා බිරිදක් අත්‍යවශ්‍ය වන්නේ නැත. බිරිදක් යනු, තම ජීවන සහකාරිය බව අප අසා ඇත. ජීවිතයට සහකාරියක් අවශ්‍ය වන්නේ, දුක සතුට බෙදා හදා ගන්නටය. අනෙකා වෙනුවෙන් බොහොම ආදරණිය ලෙස කැප වෙන්නටය. නමුත් බොහෝ කාන්තාවන්ට සමාජය තුළ, විවාහයෙදී ලැබෙන්නේ, සුරක්ෂිත වූ බැදීම් සමුදායක්මද? එය එසේ නොවන, අප ඇතැම් විට නොදකින, විවාහයේ එක් සංවෘත පැතිකඩක් මෙම ගීතය අප සැමට පසක් කරයි.

                                           "පතා පැමිණ සුර පුරවර
                                             වෙළා ගැනුනි ඝන කළුවර 
                                             දෑස පුරා දුටු සිනා කවට කෙළි
                                             කදුළු කතාවක කෙළවර
                                             අසන් හිමියනේ කාට කියන්නද 
                                             මේ දුක... ඔබ හැර..."


විවාහ වන්නට පෙර, ඔහු ඇයව බොහෝ සේ වර්ණනා කරයි. ඇය ඉදිරියේ ඔහු මවන්නේ සුර පුරයකි. ඇය ඔහුව විශ්වාස කරයි. ඇය සිතන්නේ, ඔහු ඉදිරියේ ඇය ඉතා සුරක්ෂිත බවයි. එකී විශ්වාසයේ තහවුරු බව නිසාම ඇය ඔහු සමග විවාහ වෙයි. නමුත්, විවාහයෙන් පසුව සියල්ල වෙනස් වෙයි. ඔහු ඇයට ආදරයේ ඇති,  ව්‍යාජ බව පසක් කරමින්, විවාහය රුදුරු ජිවන අත්විදීමක් බවට පත් කරයි. නමුත්, මෙකී කදුළු කතාව ඇයට පැවසීමට ඇත්තේ, තම ස්වාමියාටම පමණයි. තමන්ගේ ජීවිතය විඳවන තැනට පත් කළ ඔහුට, ඇයගේ කදුළු කතාව පැවසීම කෙතරම් නිෂ්ඵල ක්‍රියාවක් බව ඔබට අමුතුවෙන් කිව යුතු නොවේ. නමුත්, මෙහිදී ඔබ වටහා ගත යුත්තේ, එවන් ඉරණමක ඇති, දුක්ඛදායක ස්වභාවයයි. 

                                          "කලා සොළොස පිරි පුරහද
                                           අතැරගොසින් සිය පියබඳ
                                           එදා දෙඩු මුදු වදන් අසන්නට
                                           බලාහිදී සිත පිළිසිද
                                           අසන් හිමියනේ කාට කියන්නද
                                           මේ දුක... ඔබ හැර..."


සඳ නැති අහසට අමාවක යැයි අපි කියමු. ඇයට ඔහු අඩ සඳක් නොව, පුරසඳකි. එකී පුරසඳ අහිමි අහසක් බවට ඇය දැන් පත් වී ඇත. එකී අහසට ඔබ දෙන නම මොකක්ද? සියලු දුක් අහසක් වගේ දරා සිටින ඇයට, ඔබ දෙන නම මොකක්ද? පුරසඳක වුව, ආවාට ඇති බව, ඇයට මතක තිබුනා නම්, මෙවන් පශ්චාත්තාපයක් ඇති නොවන බව, මට විටෙක සිතෙයි. නමුත් දැන් ඇය දොළ පුරන්නේ, ඔහුගෙන් මෘදු වදනක් ඇසීමටය. බොහෝ ආදරය කර, විවාහ වූ ඔහුගෙන්, මෘදු වදනක් වෙනුවෙන් බලාසිටීමට සිදු වීම, බැඳීම් තුළ පවතින අනිත්‍යතාව ඔබට මෙනෙහි කරනවා නොවේද? 

මෙම ගීතය සියලු පිරිමින් වෙත වෛරය වපුරවන ගීතයක් ලෙස අවප්‍රමාණය කළ යුතු නොවේ. එහෙයින්, ඉහත සියලු වචන, කාන්තාව හෙළා දකින සියලු පිරිමින් හා විවාහය තුළ වද වේදනා විදින සියලු කාන්තාවන් වෙනුවෙන් පමණක්ම අකුරු කළ බව සිතුව මනාය.


                                                               අයි.ඒ. සචිනි නිමල්කා 

Thursday, April 11, 2019

වැරදිකරු වෙමි මං.....




මෙය සුනිල් එදිරිසිංහයන් විසින් ගායනා කරනු ලබන ඉතා සංවේදී වූ ගීතයකි. මෙම ගීතයේ පද රචනය, රවී සිරිවර්ධනයන්ගේය. සංගීතය කලිඳු වීරසිංහ සිදු කර ඇත. අඹු සැමියන් අතර ඇති වූ සිත් අමනාප වීමක් පිළිබදව, සැමියා විසින් සිදු කෙරෙන, සෙනෙහෙබර ආමන්ත්‍රණය මෙම ගීතය පුරාවට ඔබේ සවන් වැකෙනු ඇත.

ආදරය, විවාහය යනාදී බැදීම්, විශ්වාසය, පරිත්‍යාගය මත රඳා පවතින බව අප අසා ඇත. එහෙත් එය ප්‍රායෝගික ජීවිතය තුළ හමුවන අවස්ථාවන් ඉතාමත් අල්ප වේ. යම් පුද්ගලයෙක්ට, තමන්ගේ බිරිද, පෙම්වතිය වෙනුවෙන්, සියලු වැරදි තමා වෙත පවරා ගත හැකිද? හෘද සාක්ෂිය තුළ, තමන් නිවැරදිකරුවෙකු බව හොදින්ම දන්නා අවස්ථාවක වුව, තම පෙම්වතියගේ ප්‍රතිරූපය වෙනුවෙන්, සමාජය තුළ, වැරදිකරුවෙක් බවට පත්විය හැකිද? සුනිල් එදිරිසිංහයන් මෙම ගීතය තුළ, දෘශ්‍යමාන කරනු ලබන්නේ, එවන් පරිත්‍යාගශීලි පෙම්වතෙකි. සැමියෙකි.

                                               "මගෙන් වෙන්වී යන්න පළමුව
                                                 වරද මට පවරන්න සොඳුරිය
                                                 ලොවම වැට ළග හිඳී විමසිල්ලෙන්
                                                 වැරදිකරු වෙමි මං 
                                                 ඔබ යන්න සැනසිල්ලෙන්..."

ඔහුගෙන් වෙන් වී යන්නට ප්‍රථමයෙන්, සියලු වැරදි ඔහු වෙත පවරා යන ලෙස, ඇය වෙත කෙරෙන සෙනෙහෙබර ආරාධනාවෙන් මෙම ගීතය ශ්‍රාවක ඔබ වෙත ළගා වෙයි. එහි අරමුණ වන්නේ, සමාජයෙන් ඇයට එල්ල වන සියලු චෝදනා තුළින්,  ඇය නිදොස්කාරිය කිරීමයි. ඔහු තමන්ගෙන් නික්මී යන ඇයට ප්‍රාර්ථනා කරන්නේ, සැනසිලිදායක ජීවිතයකි. මෙලෙස, තමන්ගෙන් වෙන් වී යන අයෙකු දෙස මෙතරම් උපේක්ෂාවෙන් බැලිය හැක්කේ, ජීවිතය පිළිබද යම් අවබෝධයක් ඇති පුද්ගලයෙකුට නොවේද? 

                                               "ඔබේ නිදොස් බව රැඳෙන සිතුවිලි 
                                                 රැගෙන කඩු තුඩු සේ
                                                 මතකයෙන් සිඳලන්න විඳගත්
                                                 හැඟුම් අප සමසේ"

ඔවුන් දෙදෙනා ආදරයෙන් ජීවිතය ගත කරන කාල පරාසය තුළ, ජීවිතයට බොහොම ආදරණිය මතකයන් එකතු කර ගන්නට ඇත. යම් දෙයක් තමන්ගේ අයිතිය තුළ, පවතින කාලය තුළ, සිහිකරනු ලබන මතකයන් බොහොම වින්ඳනීය වේ. එහෙත් තමන් සමීපයෙන් ගිලිහී ගිය පුදගලයෙක්ගේ මතකයන්, විඳවන ජීවිතයකට මඟ සකස් කරයි. එබැවින් ඔබ නිදොස් ලෙස සිතන හැම සිතුවිල්ලක්ම, අපි දෙදෙනාගේ මතකයන් සියල්ල සිඳලීමට, අවියක් ලෙස භාවිත කරන ලෙස, ඔහු ඇයට ආරධනා කරයි. ආදරය මෙතරම්ම පරිත්‍යාගශීලිද?
                                              
                                              "ඔබ නිදොස් කළ ලොවම ඔබ හා 
                                                උරණ වන දවසේ
                                                එන්න පියබඳ පුරුදු ඉදිකඩ
                                                ළගම ඇති පෙරසේ"

අද ඔබව, සමාජය බොහොම ආදරයෙන් පිළිගනියි. අද, ඔබ වෙනුවෙන් එම සමාජය පෙනී සිටියි. එහෙත් එය නොවෙනස්ව, දීර්ඝ කාලීනව පවතියිද? වෙනස්වන ලෝකයේ නොවෙනස්වන එකම දෙය වෙනස්වීම පමණක්ම බව ඔබ අසා නැතිද? අද ඔබ වෙනුවෙන් පෙනී සිටින සමාජය, දිනෙක ඔබට එරෙහිව නැගී සිටිය හැකි බව, ඔහු ඇයට සිහිපත් කිරීම, එබැවින්, සාවද්‍ය නොවේ. නමුත්, එහි ඇති පුදුමය නම්, මුළු ලොවම ඇය වෙත එරෙහි වුවත්, ඔහු ඇයව ප්‍රතික්ෂේප නොකිරීමයි. සැබෑ ආදරය මෙය නොවන්නේද?

ආදරය ලැබීම හෝ නොලැබීම අතර දෝලනය වන්නට පුළුවන. නමුත් අයිතිය මත, ආදරය ගොඩනගා ගැනීමට එහා ගිය, අධ්‍යාත්මික ආදරයක්, එකිනෙකා වෙනුවෙන් කැපවීම, ඉවසීම මත ගොඩනගා ගත හැකි නොවන්නේද? මෙහි ඇති සියලු පැනයන්ට, පිළිතුරු ඔබ සතුයි.



                                                                      අයි.ඒ. සචිනි නිමල්කා

Wednesday, April 10, 2019

වස්තුව ඉල්ලන කාශ්‍යප පුතුණේ...



"වස්තුව ඉල්ලන කාශ්‍යප පුතුණේ” නම් ගීතය, රචනා කරන ලද්දේ, නෝබට් තලම්මැහැර ශුරීන් විසිනි. මෙම ගීතය ගායනා කරනු ලබන්නේ, ඇන්ටන් රොද්‍රිගෝ ශුරීන් විසිනි. මෙය මහාවංශයේ හමුවන, පළමු පීතෘ ඝාතක රජු වන, කාශ්‍යප රජු වටා ගෙතුණු ගීතයකි. මෙම කතා වස්තුව හමුවන්නේ, මහාවංශයේ, 38 වන පරිච්ඡේදය තුළ ය. නෝබට් තලම්මැහැරයන් මෙම ගීතය රචනා කරනු ලබන්නේ, කාශ්‍යප රජතුමන්ගේ පියාගේ දෘෂ්ඨියෙනි. එනම්, මෙරට සශ්‍රික කිරීම උදෙසා කලා වැව දායාද කළ, ධාතුසේන රජතුමන්ගේ, අදහස් සමුදායක් ලෙස ය.         

ඉතිහාසයේ සදහන්, මෙම ශෝකීය කතා වස්තුව නොදත්, පුද්ගලයෙකුට වුව, තේරුම් ගැනීමට පහසු වන පරිදි, මහා දුක් ගංගාවක්, ගීතයෙහි සරල පද වැල් අතර ගලා හරින්නට තරම් රචකයා දක්ෂ වී ඇත. මෙම ගීතයට පාදක වූ, එකී කතා වස්තුව පහතින්, කෙටියෙන්, දැක්වීමට කැමැත්තෙමි.

    ධාතුසේන රජතුමන්ට මුගලන් හා කාශ්‍යප ලෙස පුතුන් දෙදෙනෙකු හා එක් රූමත් දියණියක සිටින ලදි. මුගලන් යනු, අඟ බිසවගේ පුතණුවන් වන නිසාවෙන්, ධාතුසේන රජුගෙන් පසු, රජකම හිමිවීමට තිබුනේ, ඔහුටය. නමුත්, අන් පුදගලයින්ගේ බස් වලට රැවටී, රාජ්‍ය පැහැර ගැනීමට, කාශ්‍යප කුමරු කටයුතු කළේය. එබැවින්, මුගලන් කුමාරයා දකුණු ඉන්දියාවට පැන ගියේය. පසුව බල ලෝභීත්වය මුදුන්පත් කරගත් කාශ්‍යප රජතුමා, ධන ලෝභීත්වය සංසිදවා ගැනීමට, පරම්පරාවෙන් ලද වස්තුව, ධාතුසේන රජුගෙන් ඉල්ලයි. පසුව, වස්තුව ලබා දීමට කලා වැව සමීපයට පැමිණෙන ලෙස, ධාතුසේන රජතුමන්, තම පුතුට ආරාධනා කරයි. ඉන් අනතුරුව, ධාතුසේන රජතුමා, තමන් උපයා ගත් එකම වස්තුව, කලා වැව බව, කාශ්‍යප රජුට පවසයි. ඉන් දැඩි කෝපයට පත් කාශ්‍යප රජු, ධාතුසේන රජතුමන්ව, කලා වැව් බැම්මෙහි තබා, පස් ගසා, මැරීමට නියෝග කරයි. 
  
එකී ලෝක ධාතුවම කම්පා කල, පීතෘ ඝාතක කතා වස්තුව, නෝබට් තලම්මැහැර ශුරින්, සරල වචන යොදා, බොහොම සංයමයෙන්, ගීතයකට පන පොවා ඇත. එය ඇසෙන මොහොතකදී පවා, ශරීරය පුරාවට සැරිසරන්නේ, ධාතුසේන රජතුමන්ගේ, දුක්ඛ සමුදායයි.

     දරු සෙනෙහස යනු, වචනයෙන් කියා නිම කළ නොහැකි, අපුර්ව හැගීම් සමුදායකි. දරුවෙකු ලද මවක්, පියෙක්, තම දරුවා සුරතට ගත් පළමු මොහොතේ පටන් පසුවන්නේ, රටක් රාජ්‍යක් ලද හැඟීමෙනි. ධාතුසේන රජතුමා ද, රජෙක් වුව ද, පියෙකි. තම පුතුන් දෙදෙනාට හා දුවණිට සෙනෙහෙ කළ පියෙකි. නෝබට් තලම්මැහැරයන් මෙම ගීතයේ, මුල් පද පේළිය පූර්ණය කරනුයේ, එකී පීතෘත්වයේ ආදරණිය ආමන්ත්‍රණයක් ලෙසය.

  "වස්තුව ඉල්ලන කාශ්‍යප පුතුණේ
    ඇයි හදවත රිදවන්නේ 
    ඇස් දෙක වාගෙයි මුගලන් සහ නුඹ  
    පිය රජු සෙවණේ වුන්නේ ”

ධාතුසේන රජතුමන් හට, තම පුතුන් දෙදෙනා ම දෑස් දෙක මෙන් ය. ඕනෑම පුද්ගලයෙක්ට, දෑස් යනු, වටිනම වස්තුවකි. නේත්‍ර යුගලයකින් තොරව, ලෝකය දැක ගත නොහැක. දෑස් අහිමි වූ කළ, ජීවිතය වුවද, කළකිරෙන තත්ත්වයට පත් වේ. එසේම ඇස් දෙකම, එක හා සමාන වටිනාකමකින් යුක්තය. ඇස් එකකින් ලෝකය දෙස බලනු වෙනුවට, දෑසින් ම ලෝකය දෙස බැලීමට, අප අපේක්ෂා කරනුයේ, එහෙයිනි. එබැවින් මෙම ගීතයෙහි, මුගලන් හා කාශ්‍යප දෙදෙනාම, ධාතුසේන රජතුමන්ගේ දෑසට, රචකයා විසින් සමාන කිරීම, උචිත බැව් මා හැඟි අදහසයි. මන්ද, ඕනෑම පිය කෙනෙකු, තම දරුවනට එක හා සමානව ආදරය කරයි. එසේම, තම දරුවන් බොහෝ සෙයින් ආරක්ෂා කරයි. ධාතුසේන රජතුමන්, තම පුතුන් දෙදෙනාට පවතින අසීමිත වූ ස්නේහයේ ආමන්ත්‍රණය මෙම ගීතයේ ආරම්භය තුළ නෝබට් තලම්මැහැරයන් සටහන් තබා ඇත.

    මෙම ගීතයේ දෙවන ඛාණ්ඩය තුළ, ධාතුසේන රජතුමන්, කලා වැව නිර්මාණය කිරීම තුළ විඳින්නා වූ, සැනසීම, අභිමානය, රචකයා විසින් පද වැල් අතර ගොනු කර ඇත. ජනතාවගේ පාලකයෙකු, ජනතාව වෙනුවෙන් සිදු කළ යුතුකම් කොටස වෙනුවෙන්, හඳවතින් ම තුටු වන බව මෙන් ම, ජනතාව වෙනුවෙන් යුතුකම් ඉටු කළ පාලකයෙකුට,  හඳවතින් ම තුටු විය හැකි බව, මෙම ගීතය තුළ, වක්‍රෝක්තියෙන් යුතුව, නෝබට් තලම්මැහැර ශුරීන් සටහන් තබා ඇති බව, සිතුව මනාය.   

තම පුතු, උපයා ගත් වස්තුව රජුගෙන් ඉල්ලන විට, ධාතුසේන රජුන් ට ඇති, වස්තුව කලා වැව බව, පැවසීමට තරම්, එම රජු, රටට, හා තම වැසියන්ට, යුතුකම් ඉෂ්ට කර ඇත. එම සිදුවීම චිත්ත රූප මැවෙන අයුරින් ගීතය තුළ, ජනිත කිරීමට නෝබට් තලම්මැහැර ශුරීන් සමත්ව ඇත.                                             
                                         
      "බලන්න දෙටු පුත මේ දිය තලයම 
        කෙත්වතු සාර කරන්නේ 
        මට ඇති සම්පත මට ඇති වස්තුව 
        මේ නිල් දියකඳ වන්නේ  ”
   
මෙම ගීතයේ පිය පාර්ශවයේ අධ්‍යාත්මික විවරණයකි. වත්මන් සමාජයේ වුවද, පිය පදවියට නිග්‍රහ කරන්නා වූ දරුවෝ සිටිති. එසේම තම දරුවන්ගේ දුක්ඛ දෝමනස්සයන් විඳගෙන, දරුවන්ට යහපතම ප්‍රර්ථනා කරන, මවුවරුන් ද, පියවරුන් ද, අද සමාජයේ බහුල ලෙස සිටිති. නමුත්, තමන්ට නොසළකන දරුවන් අභිමුව හිඳ, සෑම පියෙකුම, මවකම, තමන්ගේ චිත්ත සන්තානයෙන් දහසකුත් ප්‍රශ්න අසමින් ඇත. මා විසින් ඇති දැඩි කළ මා පුතු, මට එරෙහිව, ශක්තිය යොදවන්නේ, කෙසේද යන්න, ඒ දහසකුත් ප්‍රශ්ණ අතර, තිබෙන්නට පුළුවන. ධාතුසේන රජතුමන් ද, තම පුතු, තමන්ට එරෙහිව නැගී සිටින විට, හඳවතින් ම, හඬාවැටෙන්නට ඇත.        නමුත් ඔහු, මරණයට බිය නැත. මන්ද, ඔහු කලා වැව නිර්මාණය කිරීමෙන් ලද, ආත්ම තෘප්තිය, ආත්ම සැනසීම, මරණය අතික්‍රමණය කර ඇත. තම පුතු නියම කළ මරණය කෙතරම් බියකරු වුවත්, එම මරණය කලා වැව් ඉසම්ත්තේ වැළඳගැනීමට, අවසන ඔහු ඉල්ලීම් කරනුයේ, එහෙයිනි.

  "සිටුවා පස් ගස්වා මා මැරුමට
    කවුරුද පුතු සිත බින්දේ 
    මා මළ පසු පුත මිහිදන් කළ මැන 
    කලා වැවේ වැව් කන්දේ ”

 මරණය අභියස වුව, ධාතුසේන රජු තුළ, ශ්‍රද්ධාව පලා නොගිය බව, දැනවීමට, මෙහි අවසාන පද පෙළ තුළින්, රචකයා සමත් වී ඇති බව පෙනේ.

                                            "මගේ කලා වැව සඳා රකිනු මැන
                                              අවුකන පිළිම සමින්දේ ”

මෙම ගීතය පුරාවටම නොබ්ට් තලම්මැහැර ශුරීන්, සරල වචන යොදා, ශ්‍රාවකයාට ගීතය බොහොම සමීප කර ඇත. එසේම උචිත පරිදි උපමා යොදා ගෙන ඇත.

                                           උදා - ඇස් දෙක වාගෙයි මුගලන් සහ නුඹ

එසේම චිත්ත රූප මැවෙන බස් වහරක් යොදා ගීතය පුරාවට, ශෝකී ගංඟාවක් ගලා හරින්නට, රචකයා සමත් වී ඇති බැව් පෙනෙයි. කෙසේවෙතත්, ඉතිහාසය අමතක කර, අනාගත සුභසිද්ධිය ම  පතන, මිනිසුන් සිටින සමාජයක, ගීතයෙන් වුව, ඉතිහාසය විඳීමට සැලැස්වීම පිළිබදව, නෝබට් තලම්මැහැර ශූරීන්ට, වත්මන් සමාජය කෘතඥපූර්වක විය යුතමුය.
  විවේකයක් ලද මොහොතක, අනුරාධපුර රාජධානියේ, කලා වැව් ඉස්මත්තේ, ඔබ හිඳින විටෙක, වචනයෙන් විස්තර කළ නොහැකිව, ඔබට දැනෙන්නා වූ හැඟීම් සමුදාය, නෝබට් තලම්මැහැරයන්ගේ මෙම ගීතයේ සාර්ථකභාවය, ඔබට පසක් කරන බව, මම විශ්වාස කරමි. මන්ද, කලා වැව් ඉස්මත්තේ සිට හඹා එන සුළං රැළි මත, මා හට ඇසෙනුයේ, නෝබට් තලම්මැහැර ශූරීනගේ තෙළි තුඩින් සටහන් තැබූ, මෙකී ශෝකාලාපයයි.


                                                                        අයි.ඒ. සචිනි නිමල්කා