කාන්තාවක් ජිවිතේ විවිධ අවඳීන් තුළ විවිධ භූමිකාවන් හොබවයි. දෙමාපියන් යටතේ, බොහොම ආදරයෙන් හැදී වැඩෙන ගැහැණු දරුවා, පසුව විවාහ ජීවිතයට අවතීර්ණ වීමත් සමග, ස්වාමියා සමග ජීවිතය බෙදා හදා ගැනීමට සිදුවේ. එහිදී බිරිදක, පසුව, මවක ලෙස ඇය සමාජය වෙත තම යුතුකම් ඉටු කරයි. එකී කාන්තාවට සමාජය තුළ, ගරුත්වයක් හිමිවිය යුතුද? නැද්ද? එම ප්‍රශ්නය ඔබගෙන් විමසන්නේ, පවුල වෙනුවෙන්, සමාජ සම්බන්ධතා වෙනුවෙන්, අවංකව කැපවෙන කාන්තාවන් වෙනුවෙන් ම පමණක් බව සිහිකර යුතුමය.
දීපිකා ප්‍රියදර්ශනී නම් ගායිකාව, කාන්තාවගේ ජිවිතයේ එක් අසුන්දර පැතිකඩක් තම ගීතමය හඬින් විවරණය කරයි. බිරිදක් සිටින්නේ, ස්වාමියාගේ අවශ්‍යතා ඉටු කිරීමට පමණක්මද? ඇය ස්වාමියාගේ මෙහෙකාරිය ලෙස ජීවිතය ගෙවිය යුතුද? ඇයට ආදරය, රැකවරණය අවශ්‍ය නොවේද? සුරක්ෂිත ආදරයක් ලැබෙන, ස්වාමියෙකුගේ අභියස, ඇය බොහොම ආදරණීය බිරිදක් ලෙස, තම යුතුකම් නොපිරිහෙළා ඉටු නොකරාවිද?
"රාත්‍රිය වී නිහඬව නිසලව ඉන්නම්
බියද දැනේ දුකද දැනේ
රුදුරු වුනේ ඇයි හිමි සඳුනේ"
බියද දැනේ දුකද දැනේ
රුදුරු වුනේ ඇයි හිමි සඳුනේ"
විවාහයට පෙර, බොහොම ප්‍රියජනක ප්‍රතිරූපයක් මවන ඔහු, විවාහයෙන් පසුව ඇයට විවිධ වඳ වේදනාවන් සිදු කරයි නම්, එලෙස ඇති වන්නා වූ බැඳීම් තුළ කිසිදු ඵලදායිතාවයක් නැත. කාන්තාවක් අවශ්‍ය රාත්‍රිය වර්ණවත් කිරීමට පමණක් යැයි සිතන පිරිමින්ට, විවාහය සඳහා බිරිදක් අත්‍යවශ්‍ය වන්නේ නැත. බිරිදක් යනු, තම ජීවන සහකාරිය බව අප අසා ඇත. ජීවිතයට සහකාරියක් අවශ්‍ය වන්නේ, දුක සතුට බෙදා හදා ගන්නටය. අනෙකා වෙනුවෙන් බොහොම ආදරණිය ලෙස කැප වෙන්නටය. නමුත් බොහෝ කාන්තාවන්ට සමාජය තුළ, විවාහයෙදී ලැබෙන්නේ, සුරක්ෂිත වූ බැදීම් සමුදායක්මද? එය එසේ නොවන, අප ඇතැම් විට නොදකින, විවාහයේ එක් සංවෘත පැතිකඩක් මෙම ගීතය අප සැමට පසක් කරයි.
"පතා පැමිණ සුර පුරවර
වෙළා ගැනුනි ඝන කළුවර
දෑස පුරා දුටු සිනා කවට කෙළි
කදුළු කතාවක කෙළවර
අසන් හිමියනේ කාට කියන්නද
මේ දුක... ඔබ හැර..."
විවාහ වන්නට පෙර, ඔහු ඇයව බොහෝ සේ වර්ණනා කරයි. ඇය ඉදිරියේ ඔහු මවන්නේ සුර පුරයකි. ඇය ඔහුව විශ්වාස කරයි. ඇය සිතන්නේ, ඔහු ඉදිරියේ ඇය ඉතා සුරක්ෂිත බවයි. එකී විශ්වාසයේ තහවුරු බව නිසාම ඇය ඔහු සමග විවාහ වෙයි. නමුත්, විවාහයෙන් පසුව සියල්ල වෙනස් වෙයි. ඔහු ඇයට ආදරයේ ඇති, ව්‍යාජ බව පසක් කරමින්, විවාහය රුදුරු ජිවන අත්විදීමක් බවට පත් කරයි. නමුත්, මෙකී කදුළු කතාව ඇයට පැවසීමට ඇත්තේ, තම ස්වාමියාටම පමණයි. තමන්ගේ ජීවිතය විඳවන තැනට පත් කළ ඔහුට, ඇයගේ කදුළු කතාව පැවසීම කෙතරම් නිෂ්ඵල ක්‍රියාවක් බව ඔබට අමුතුවෙන් කිව යුතු නොවේ. නමුත්, මෙහිදී ඔබ වටහා ගත යුත්තේ, එවන් ඉරණමක ඇති, දුක්ඛදායක ස්වභාවයයි.
"කලා සොළොස පිරි පුරහද
අතැරගොසින් සිය පියබඳ
එදා දෙඩු මුදු වදන් අසන්නට
බලාහිදී සිත පිළිසිද
අසන් හිමියනේ කාට කියන්නද
මේ දුක... ඔබ හැර..."
සඳ නැති අහසට අමාවක යැයි අපි කියමු. ඇයට ඔහු අඩ සඳක් නොව, පුරසඳකි. එකී පුරසඳ අහිමි අහසක් බවට ඇය දැන් පත් වී ඇත. එකී අහසට ඔබ දෙන නම මොකක්ද? සියලු දුක් අහසක් වගේ දරා සිටින ඇයට, ඔබ දෙන නම මොකක්ද? පුරසඳක වුව, ආවාට ඇති බව, ඇයට මතක තිබුනා නම්, මෙවන් පශ්චාත්තාපයක් ඇති නොවන බව, මට විටෙක සිතෙයි. නමුත් දැන් ඇය දොළ පුරන්නේ, ඔහුගෙන් මෘදු වදනක් ඇසීමටය. බොහෝ ආදරය කර, විවාහ වූ ඔහුගෙන්, මෘදු වදනක් වෙනුවෙන් බලාසිටීමට සිදු වීම, බැඳීම් තුළ පවතින අනිත්‍යතාව ඔබට මෙනෙහි කරනවා නොවේද?
මෙම ගීතය සියලු පිරිමින් වෙත වෛරය වපුරවන ගීතයක් ලෙස අවප්‍රමාණය කළ යුතු නොවේ. එහෙයින්, ඉහත සියලු වචන, කාන්තාව හෙළා දකින සියලු පිරිමින් හා විවාහය තුළ වද වේදනා විදින සියලු කාන්තාවන් වෙනුවෙන් පමණක්ම අකුරු කළ බව සිතුව මනාය.
🤗 very good.
ReplyDeletethank you teacher
ReplyDeleteG N W work
ReplyDelete